සිසුවෙකු පාසලට ගෙනවිත් අතුරුදහන් වුණ ලක්ෂ 20ක් වෙනුවට පර්චස් 20ක ඉඩමක් ලියන්න බටපොළ පොලීසිය මැදිහත් වෙලා.

පාසලේ මිතුරෙකුගේ බෑගයේ තිබූ බව කියන රුපියල් ලක්ෂ 20ක මුදලක් නිවසට රැගෙන ආ බවට වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකුට එල්ල වූ චෝදනාවක් මුල්කරගෙන, එම සිසුවාගේ පවුලේ සාමාජිකයන්ට බලපෑම් කර පර්චස් 20ක ඉඩමක් සහ නිවසක් පවරා ගැනීමට කටයුතු කර ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මැයි මස 20 වැනි දින ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි ආර්. ආලවති මහත්මිය විසිනි. ඇය පවසන පරිදි, තමන් සිය 74 හැවිරිදි සැමියා සහ මුනුපුරන් දෙදෙනා සමඟ ජීවත් වන අතර, වයස අවුරුදු 12ක් සහ 8ක් වන දරුවන් දෙදෙනාගේ මව වසර කිහිපයක සිට විදේශගතව සිටී.

“මගේ ලොකු මුනුපුරා අලුත්වල මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ දරුවෙක්. ඉගෙනීමට වගේම ක්‍රීඩාවටත් දක්ෂයි,” යැයි ඇය පැවසුවාය.

ඇයගේ ප්‍රකාශයට අනුව, පසුගිය මාර්තු 28 වැනිදා බටපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ තවත් පිරිසක් තම නිවසට පැමිණ සෝදිසි කිරීමක් සිදුකර ඇත. එහිදී සෝදිසියට හේතුව විමසුවද ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාදී නොමැති බව ඇය සඳහන් කරයි.

පසුව පොලිස් නිලධාරීන් විසින් ඇය පාසල වෙත රැගෙන ගොස්, පාසල අවසන් වීමෙන් පසුව සිසුවා පාසල් ඇඳුමින්ම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව ඇය පවසයි.

ඇයගේ ප්‍රකාශයට අනුව, එහිදී පොලිසිය විසින් තම මුනුපුරා පාසලේ මිතුරෙකුගේ රුපියල් ලක්ෂ 20ක මුදලක් නිවසට රැගෙන ගොස් ඇති බවට චෝදනා කරමින් එම මුදල් නිවසේ තිබේදැයි විමසා ඇත.

“මගේ මුනුපුරා එවැනි මුදලක් ගෙනා බවක් හෝ නිවසේ එවැනි මුදල් තිබෙන බවක් මම දන්නේ නැහැ,” යැයි ඇය ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව තම පවුලේ සාමාජිකයන් දින ගණනාවක් බටපොළ පොලිස් ස්ථානයට කැඳවා උදෑසන සිට රාත්‍රී 10.30 පමණ වන තෙක් රඳවා තබාගෙන සිටි බවත්, තම සැමියා පොලිස් කූඩුවේ රඳවා තැබූ බවත් ඇය චෝදනා කරයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ, අදාළ මුදලට වන්දියක් ලෙස තමන්ට අයත් නිවසක් සහ පර්චස් 20ක පමණ ඉඩමක් පවරා දීමට සිදුවූ බවයි.

“ඉඩම මැනීමේදී මිනින්දෝරුවරයෙකු සමඟ බටපොළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාත් පැමිණ සිටියා,” යැයි ඇය සඳහන් කළාය.

මේ වන විට මුදල් අයිතිකරු බව කියන පුද්ගලයා සහ ඔහුගේ හිතවතුන් තම පවුලට දිගින් දිගටම තර්ජනය කරන බවත්, දැනට පදිංචිව සිටින ඉඩමද පවරා දෙන ලෙස බලපෑම් කරන බවත් ඇය කියා සිටී.

“දැන් මගේ මුනුපුරාට පාසල් යන්නත් අමාරුයි. අපිට මේ ගම අතහැරලා යන්න වෙයි කියලා බයයි,” යැයි ඇය පැවසුවාය.

ආලවති මහත්මිය පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම, ඇල්පිටිය සහ බටපොළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට උත්සාහ කළද ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික සොයාබැලීමක් සිදුකර ඇති අතර, පැමිණිලිකාරියගේ ප්‍රකාශ අනුව මුදල් අහිමි වූ බව කියන පාර්ශ්වය විසින් බටපොළ පොලිස් ස්ථානයේ නිල පැමිණිල්ලක් ගොනු කර නොමැති තත්ත්වයක් තුළ පොලිසිය මෙම ගැටලුවට මැදිහත් වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි සඳහන් වේ.

එමෙන්ම පාසල තුළ සිදුවූ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ වගකිවයුතු නිලධාරීන් විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ද මූලික නිරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් රැස්කරගත් තොරතුරු වැඩිදුර විමර්ශන සඳහා අදාළ ආයතන වෙත යොමු කර ඇති බව ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

Social Sharing
නවතම පුවත්