
ගෝලීය වශයෙන් ඇතිවිය හැකි එල්-නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට දරුණු බලපෑමක් එල්ල වීමේ අවදානම ඉතා අවම බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණි මහතා පවසයි.
ඔහු සඳහන් කළේ පැසිෆික් සාගරයේ නිවර්තන කලාපීය ජල උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ගෝලීය වශයෙන් එල්-නිනෝ තත්ත්වයක් වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් පුරෝකථනය කර ඇති අතර, එහි ප්‍රධාන බලපෑම් ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු දක්නට ලැබිය හැකි බවයි.
මේ වන විට ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වැසි ලැබෙමින් පවතින අතර එම වැසි සමය සැප්තැම්බර් දක්වා පවතිනු ඇතැයිද ඔහු පැවසීය. ජූලි සහ අගෝස්තු මාසවලදී විටින් විට වැසි ඇති වුවද සාමාන්‍යයෙන් මෝසම් වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දෙවැනි අන්තර් මෝසම් වැසි සමය ආරම්භ වන අතර එහිදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයිද, ඉන් අනතුරුව ඊසාන මෝසම් වැසි ආරම්භ වී එය පෙබරවාරි දක්වා පවතිනු ඇතැයිද ඔහු කියා සිටියේය.
රන්දෙණි මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ පිහිටා ඇති බැවින්, එල්-නිනෝ තත්ත්වයේ බලපෑම් සම්පූර්ණයෙන්ම පැසිෆික් සාගරයේ සිදුවන වෙනස්කම් මත පමණක් රඳා නොපවතින බවයි. ඉන්දියානු ද්විධ්‍රැවීය යාන්ත්‍රණය (Indian Ocean Dipole) හේතුවෙන් ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශවල උණුසුම ඉහළ යාමත් සමඟ වාෂ්පීකරණය වැඩි වී, එම ජල වාෂ්ප ශ්‍රී ලංකාව වෙත ගෙන එන බව ඔහු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව දූපතක් වීම, රට මැද කඳුකර කලාපයක් පැවතීම සහ රට වටා විශාල සාගර ප්‍රදේශයක් තිබීම හේතුවෙන් ජල වාෂ්ප හිඟයක් ඇතිවීමේ අවදානම අඩු බවද ඔහු සඳහන් කළේය. එබැවින් දරුණු එල්-නිනෝ තත්ත්වයක් හේතුවෙන් වර්ෂාපතනය විශාල වශයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා නොකරන බවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඕනෑම කාලගුණික විපර්යාසයකට මුහුණ දීම සඳහා පෙර සූදානම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් රන්දෙණි මහතා, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වැදගත් බව පැවසීය.
එල්-නිනෝ තත්ත්වය දැඩි වුවහොත් වී ඇතුළු බෝග අස්වැන්න අඩුවීමේ සහ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා රජය සහ ජනතාව සූදානම් විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
