
සලේ ලා, අරය ලා, මෙයා ලා ගේ කෙරුවාවන් පාස්කු දින ප්‍රහාරයට විතරක් නෙමෙයි, දෙමළ, මුස්ලිම්, සිංහල මිනිසුන්ට පවා සිදුකරපු දේවල් අඩු වැඩි වශයෙන් මුලු සමාජයක්ම දන්නේය. කොහොම නමුත් සලේ වැන්නවුන් පිළිබද ස්වාධීන, විනිවිද පෙනෙන අධිකරණ ක්රියාම්ර්ගයක් සිදුවිය යුතුමය. නමුත් ඔවුන් කිසිවෙක් වෙනුවෙන් පෙනී නොසිටිමි. කාකි, කැමා ඇදුම් ඇදගත් බොහෝ දෙනෙක් සහ ඔවුන්ව මෙහෙයවපු සුදු ඇදගත් මහත්තුරු-නෝනාවරුනුත් අහිංසක නැත.
එසේ වුවද, අපගේ පෙනී සිටීම සීමා වන්නේ රාජ්‍ය භාරයේ සහ පොලිස් අඩස්සියේ පසුවන සැකකරුවන්ගේ මූලික මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පමණි. සැකකරුවෙකු හෝ සිරකරුවෙකු දෙස මානව හිමිකම් දෘෂ්ටි කෝණයකින් බැලීමට අපොහොසත් වන කිසිදු සමාජයකට ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැඟිය නොහැක. එම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නොනඟන සමාජයකට තමන් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් දැයි ස්වයං විවේචනයක යෙදීමට සිදුවේ.
ඒපමණක් ද නොවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කළ යුතු යැයි සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ ප්රගතිශීලී පුරවැසියන් වසර ගණනාවක සිට අඛණ්ඩව කියා සිටියා. ඒ පෙනී සිටිය බොහෝ අයට ඔවුන් කිව්වේ ‘NGO කාරයො’ නැත්නම් ‘කොටි’ කියලා. තාමත් කියන අය ඉන්නවා. නමුත් එදා සලේ වැන්නන් කළේ ඒ ම්ලේච්ඡ පනතම පාවිච්චි කරලා මිනිසුන්ව උපරිමයෙන් පීඩාවට පත් කිරීමයි. ඔවුන් නියෝජනය කළ දේශපාලන කල්ලි එදා මෙවැනි මර්දනකාරී නීති රීති පෝෂණය කළා. එදා නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට(2020 අප්‍රේල් 14 – හීජාස් හිස්බුල්ලා 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ චෝදනා ලැබ, ඇප ලබා නොදී මාස 22ක් සිරගත කළේය.) ගන්න උපදෙස් දුන්න සලේලාට, අද ඒ පනතම බූමරංගයක් වගේ කැරකිලා ඇවිත් තමන්වම හිර කරන කොට PTA අහෝසි කරන්න කියන්න සිදුවෙලා තියෙනවා. ඒක හොදයි!
පුදුමය එය නොවේ; එදා එම පනතින්ම දැවැන්ත මර්දනයකට ලක්වුණු ජවිපෙ, අද ආණ්ඩු බලය අතට ගත් පසු ඒ ම්ලේච්ඡ පනතම කිසිදු හිරිකිතයකින් තොරව භාවිතා කිරීමයි. නමුත් මේ සිදුවීම්වලින්වත් මිනිස්සු දැන් එක දෙයක් තේරුම් ගත යුතුයි. ඒ තමයි, මෙවැනි ම්ලේච්ඡ නීති තමන්ගේ ඔළුවටම පාත් වෙනකන් බලන් ඉන්නේ නැතිව, ඒවාට එරෙහිව පොදුවේ නැඟී සිටීමේ වැදගත්කමයි.
මේ නිසා, අනුර කුමාර දිසානායක ආණ්ඩුව PTA පනත දිගටම භාවිතා කිරීමට එරෙහිවත්, එය වහාම අහෝසි කිරීමට බලකරමින්ද අප නැඟී සිටිය යුතුය. එමෙන්ම, PTA අහෝසි කරනවා යැයි කියමින් වත්මන් ආණ්ඩුව විසින්ම යෝජනා කර ඇති, ඊටත් වඩා අතිශය මර්දනකාරී ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ’ (PSTA) නව පනත් කෙටුම්පතටද අප දැඩිව විරුද්ධ විය යුතුය. මෙවැනි ම්ලේච්ඡ නීති තමන්ගේ ඔළුවටම පාත් වෙනකන් බලන් ඉන්නේ නැතිව, ඒවාට එරෙහිව පොදුවේ නැඟී සිටීමට මිනිස්සු දැන්වත් තේරුම් ගත යුතුය.
කෙසේ වුවද, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතුමය!
ප්‍රහාරයේ මහමොළකරුවන් ඇතුළු ඊට වගකිවයුතු සියලු වැරදිකරුවන් ප්රජාතන්ත්රවාදී නීතිමය රාමුව තුළින් ප්‍රමාදයකින් තොරව අධිකරණය ඉදිරියට පැමිණවීම රාජ්‍යයේ අත්හළ නොහැකි වගකීමකි.
සටහන සම්පත් සමරකෝන්
