
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ලබාදුන් සහන සහ ඒ සඳහා වැය කළ සියලු මුදල් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර ඇති මුදල් කිසිදු අවස්ථාවක අයථා ලෙස භාවිත නොකරන බවත්, සියලු වියදම් නියමිත අරමුණු සඳහා පමණක් යොදවන බවත් ජනතාවට සහතික විය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ වෙන්කර තිබූ රුපියල් බිලියන 500ක මුදලින් මේ වන විට රුපියල් බිලියන 200කට වැඩි ප්‍රමාණයක් සහන කටයුතු සඳහා වැය කර ඇති බවයි. එසේම, ‘Rebuilding Sri Lanka’ අරමුදලට මහජනතාව සහ පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් රුපියල් බිලියන 10කට ආසන්න මුදල ද එම සහන වැඩසටහන් සඳහා යොදාගෙන ඇති බව ඔහු පැවසීය.
මෙම වියදම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මෙන්ම ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලැබුණු සියලු පරිත්‍යාග හා ඒවා භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවට විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
‘Rebuilding Sri Lanka’ අරමුදල සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන විවිධ චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, එහි සියලු මූල්‍ය කටයුතු පූර්ණ පාරදෘශ්‍යභාවයකින් සහ විගණන ක්‍රියාවලියට යටත්ව සිදුකරන බව අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සුළි කුණාටු විපතෙන් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය රුපියල් බිලියන 500ක පුනරුත්ථාපන සැලැස්මක් සකස් කර ඇති බවයි. එම මුදල් රජය ඉතිරි කරගත් අතිරික්ත ප්‍රතිපාදනවලින් වෙන්කර ඇති බවද සඳහන් කළේය.
එසේම, දෙස් විදෙස් පරිත්‍යාග ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය මත ‘Rebuilding Sri Lanka’ අරමුදල පිහිටුවා ඇති අතර, ඒ සඳහා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්යසාධක බලකායක් ද පත්කර තිබේ.
අමාත්‍යවරයා පැහැදිලි කළේ, අරමුදලට ලැබී ඇති සියලු මුදල් පෞද්ගලික ගිණුම්වල නොව, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ නමින් පවත්වාගෙන යන නිල ගිණුම්වල තැන්පත් කර ඇති බවයි. එම මුදල් ඒකාබද්ධ අරමුදල යටතේ පවතින බැවින් ඕනෑම අවස්ථාවක විගණනය කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.
