විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිෂන් සභාවට!

යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මෙම පත්වීම සිදු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විශ්‍රාම යෑම හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහාය.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය සිකුරාදා (මැයි 22) පැවති නිල රැස්වීමේදී විනිසුරු කෝදාගොඩගේ නාමයෝජනාව ඒකමතිකව අනුමත කර ඇත.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන යසන්ත කෝදාගොඩ මහතා සිය නීති ජීවිතය ආරම්භ කළේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ රජයේ නීතිඥවරයකු ලෙසය. දිගුකාලීන සේවාවකින් පසුව ඔහු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සෘජුවම අභියාචනාධිකරණය හි සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දැක්වූ දක්ෂතා සහ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හි විනිසුරුවරයකු ලෙස උසස් කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක පුළුල් අත්දැකීම් ඇති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ මෙම නව පත්වීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බව නීති ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

Social Sharing
නවතම පුවත්