ආහාර අර්බුදයක් අත ළඟ?

රුපියල බාල්දු වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව අද වන විට රුපියල 342 ක අගයකට පැමිණ තිබේ. මෙම රුපියල බාල්දු වීම නිසා ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යනු ඇත. මෙය සෑම ක්ෂේත්‍රයකම අර්බුද රැසක් නිර්මාණය කිරීමේ ආරම්භයයි.

ළදරු කිරි පිටිවල සිටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට ඉඩ ඇති අතර ඒවායේ හිගයක් පවා නිර්මාණය වීමට ඉඩ තිබේ. 2024 පමණක් මෙරට නිෂ්පාදනය කළ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට රුපියල් බිලියන 1045 ක් වැය කර ඇත. එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් ට්‍රිලියනයක් ඉක්මවා ගිය ගණනකි.

මෙයින් වක්‍රව හැඟී යන්නේ රටේ ආහාර නිෂ්පාදනයක් නිවැරැදිව සිදු නොවන අතර ආහාර සුරක්ෂිතතාවක් නොමැති බවයි. එසේම 2024 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක්ද 2025 වසරේ දී ඇමෙරිකානු ඩොලර් 103.5කද සහල් ආනයනය කිරීමෙන් වසරට එය 2024 සාපේක්ෂව සියයට 21 කින් ඉහළ ගොස් ඇති බැවින් ද ආහාර අනාරක්ෂිතභාවය තවරදුටත් තහවුරු වේ.

එසේම දෙසැම්බර් වන විට සහල් කිලෝ එකක මිල රුපියල් 300 දක්වා ඉහළ යා හැක. එයට හේතුව පොහොර නිසි පරිදි ලබා නොදීම, පොහොර හිඟය නිසා අස්වනු අඩු වීම සහ වී නිෂ්පාදන වියදම ඉහළ යාම යන කරුණුය. වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදලේ, සියයට 42 ක් වැයවෙන්නේ යන්ත්‍ර සූත්‍ර සහ ඉන්ධන සඳහාය. එවිට ඉන්ධන මිල ඉහළ යාම නිසා එම මිල දෙගුණයක් පමණ ඉහළ යයි.

කෝටා ක්‍රමයට ඉන්ධන ලබාදීම සහ මිල ඉහළ යාම නිසා අස්වනු නෙළතයන්ත්‍ර සූත්‍ර මෙන්ම බිම් සකස් කිරීමට ලබා දෙන යන්ත්‍ර සූත්‍ර වල ගාස්තු සියයට 160 කින් පමණ ඉහළ දමා ඇත. මෙය ගොවියාට සෘජුවම බලපානු ලබයි. සමහර ප්‍රදේශ වල හරකුන්ගෙන් මෙම කාර්යයන් ඉටු කරගත්තද බොහෝ ගම්බද ප්‍රදේශ වල පවා යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම සිදු කරයි. එසේ සිදු කරන්නේ කාලය, ඉතුරු කර ගැනීම සහ පහසුව නිසාය.

වී කිලෝ එකක් නිපදවීමට යන මුදලින් සියයට 38 ක් වැය වන්නේ ශ්‍රමය සඳහාය. පවුලේ ශ්‍රමය යොදා ගත හැකි වීම වර්තමානයේ අවම වී තිබේ. එම නිසා ශ්‍රම හිඟයක් පවතී. වී වගාව සඳහා ශ්‍රමය මුදලට ලබා ගත යුතුය. ආර්ථය ගැටලූ මත ශ්‍රම වියදම ඉහළ ගොස් තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ යන විට ඊට සාපේක්ෂව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල දෛනික වැටුප ඉහළ යයි. දිනක වැටුප වර්තමානයේ තව නොබෝ දිනකින් ඉහළ යනු ඇත. කම්කරු ශ්‍රමය හිඟතාව සහ ආර්ථික ගැටලු සහ ජීවන වියදම ඉහළ යාම නිසා මෙම තත්වය උද්ගත වේ.

කෘෂිකාර්මික රටවල මෙවැනි ගැටලු සඳහා අපූරු ක්‍රම භාවිතකළද අද ඒ තත්වය වෙනස් වී ඇත. අත්තම් ක්‍රමය තිබුණේ මේ සඳහාය. අද අත්තම් ක්‍රම භාවිත කරනුයේ සමහර ප්‍රදේශ වලය. අත්තම් ක්‍රමය ශ්‍රම හිගය සහ කෘෂිකර්මයේ යෙදෙන ප්‍රමාණය අවම වීම ආදී ගැටලු රැසක් නිසා අත්තම් ක්‍රමය භාවිත වන්නේ සුළු වශයෙනි. අත්තම් ක්‍රමය භාවිතවන්නේ නම් ශ්‍රමය සඳහා යන වියදම අවම වන්නේය.

වී කිලෝ එකක් නිෂ්පාදනයට යන වියදමෙන් සියයට 20ක් වැය වන්නේ යෙදවුම් සඳහාය. බිත්තර වී, පොහොර, පළිබෝධ නාශක ප්‍රධාන වශයෙන් මේ යටතේ ගැනේ. බිත්තර වී වලින් සියයට 80ක් ගොවියා නිපදවා ගන්නා නිසා එය ප්‍රධාන ගැටලුවක් නොවේ. එහෙත් බිත්තර වී මිල දී ගතහොත් ඒ සඳහා මුදලක් වැය වේ. බිත්තර වී වලින් සියයට 12 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බීජ ගොවිපොළවලින් නිපදවා සාධාරණ මිලකට ලබා දේ. බිත්තර වී වලින් සියයට 8ක් පෞද්ගලික අංශයෙන් ලබා දේ. ඒවායේ මිල සාපේක්ෂව ඉහළ අගයක් ගනී.

වර්තමානයේ ගැටලුව පවතින්නේ පොහොර වලය. පොහොර මෙට්‍රික් ටොන් දළ වශයෙන් 300,000ක් පමණ අවශ්‍ය කෙරේ. රජය මගින් පොහොර ලබා දුන් මිලට වඩා ඉහළ මිලකට පෞද්ගලික අංශය පොහොර විකුණයි. පසුගිය කාලයේ පොහොර කිලෝ 50ක් ලබා දුන්නේ රුපියලන් 9500/= ක මුදලකටය. එය විවෘත වෙළඳ පොළේ රුපියල් 15,000 සිට 17,500 දක්වා පවතී. රජය නිසි කලට නිසි ප්‍රමාණයෙන් පොහොර ලබා නොදීම නිසා නිසි අස්වැන්නක් ලබා ගැනීමට ගොවියාට නොහැකි වී තිබේ. විවෘත වෙළඳ පොළේ යූරියා පොහොර මිටියක් රුපියල් 17,500ක වැනි මිලකට ගතහොත් පොහොර මිල සියයට 184 කින් ඉහළ යයි.

මෙම තත්වය හමුවේ වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමේ වියදම ඉහළ යාම නිසා සහතික මිල ඉහළ දැමිය යුතුය. එවිට සහල් මිල ඉහළ යයි. මෙවැනිම තත්වයක් පළිබෝධ නාශක සම්බන්ධයෙන් ද පවතී. පළිබෝධ නාශක මිල සියයට 130කින් පමණ ඉහළ යා හැක. රුපියල අව ප්‍රමාණය වීම සහ පළිබෝධ නාශක ආනයනය සීමා වීම නිසා මෙම තත්වය උග්‍ර අතට හැරේ. ඒ අනුව වී කිලෝ එකක් නිපදවීම සඳහා රුපියල් 140-160ක අතර මුදලක් වැයවේ. එය සහතික මිලටත් වඩා ඉහළ අගයකි.

ඊළඟ ගටලුව වන්නේ විදුලි බිල සියයට 18 කින් ඉහළ දැමීමය. මේ නිසා කුඩා, මධ්‍යම සහ මහ මෝල් හිිමියන් සියලු දෙනාම අධික විදුලි බිලකට හිමිකම් කියයි. මේ නිසා වී සහල් කිරීමේ කාර්යයේදී මිල ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදුවේ.

මේ සඳහා රජය සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේද නැත. ඒ නිසා අනිවාර්යයෙන් දෙසැම්බර් මාසය වන විට සහල් කිලෝ එකක් රුපියල් 300ක මිලකට යාම වැළැක්විය නොහැකිය. වී සහල් කිරීමේ යාන්ත්‍රණය, ගබඩා කර තබා ගැනීම, වේළීම සහ අනෙකුත් ක්‍රියා සඳහා ශ්‍රමය ඉහළ යාම, විදුලි බිල ඉහළ යාම වී මිල ඉහළ යාම සියල්ල සිදු වී සමස්ත සහල් කිලෝ එකක් මිල ඉහළ යාම සිදු වේ.

සහල් මාෆියාව පාලනය නොහැකිය. මෙම රජයට කළ මෙම තත්වය පාලනය කිරීමටද හැකියාවක් නැත. ඒ නිසා ගොවියා මෙන්ම පාරිභෝගිකයා නුදුරු අනාගතයේ දී අසරණ වීම වැළැක්විය නොහැක.වී නිෂ්පාදනය පිළිබදව මෙසේ කරුණු ඉදිරිපත් කළද මෙය පොදුවේ කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයට ද පොදුය. මෙම තත්වය හමුවේ එළවළු, පලතුරු සහ ඒ ආශ්‍රයෙන් සිදු කරනු ලබන අගය එකතු කිරීමේ නිෂ්පාදනවල මිල ඉහළ යාම සිදුවේ. මේවා පාලනය කිරීමට රජයට සැලැස්මක් නැත. කොතරම් කරුණු ඉදිරිපත් කළත් ඒවා බිරි අලින්ට වීණා වයනවා මෙන්ය. මැද පෙරදිග යුද්ධය හමුවේ ආහාර අර්බුදයකට ලක්වන දෙවැනි රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා තිබේ. එසේ තිබියදීත් ඒ ගැන රජයට වගේ වගක් නැත. මෙය ජාතියේ අවාසනාවයි. රටේ විපක්ෂයට දැක්මක් නැත. හුදෙක් කොළඹට වී මාධ්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දිය නොහැක.

තේ, පොල්, රබර්වල තත්වය ද මෙයමය. මෙම බෝග සඳහා රසායනික පොහොර අත්‍යවශ්‍යය. පොහොර අර්බුදය නිසා තේ, රබර්, පොල් කර්මාන්තය කඩා වැටී ඇති අතර තේ නිෂ්පාදනය සියයට 18 කින් පහත වැටී ඇත. පොල් ගෙඩි මිලියන 200ක් වසරකට අහිමි වේ. මේ නිසා විදේශ විනිමය උපයා ගැනීම ගැටලුකාරී වී තිබේ. මේ සියල්ල නිසා අර්බුදයෙන් අර්බුදයට රට ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබේ.

කනගාටුදායකම කරුණු වන්නේ මේ සියල්ලේම වින්දිතයන් වන්නේ ජනතාවය. අසරණ වන්නේ ජනතාවය. ඒ නිසා ඔවුහු කන වේල් ගණන අඩු කරති. මවුපියෝ නොකා දරුවන්ට ආහාර ලබා දේ. ගුණාත්මක ආහාර අත්හරිති. වෙන කවරදාකවත් අප රට පත් නොවුණු දුර්දාන්තකාල පරිච්ඡේදයකටු අප රට අවතීර්ණ වෙමින් තිබේ. පේනතෙක් මානයක සැනසිලි හුස්මක් ගැනීමට අනාගතයක් නොපෙනේ.

අප ගත කරමින් සිටින්නේ ඉතාමත් ඛේදජනක වකවානුවකි. එයට හේතුව කෘෂිකාර්මික රටක පැවැත්ම උදෙසා කෘෂිකර්මයට මූලිකත්වය දී ගොවියා දිරිමත් කර නිෂ්පාදනය ඉහළ දමා රටක ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතුය. ආහාර සුරක්ෂිතතාව ඇති රටක රාජ්‍ය ආරක්ෂාව ද තහවුරු වේ.

අද අපේ රටේ එවැන්නක් දක්නට නොලැබේ. ළමා පරපුරෙන් 1/3 ක් මන්ද පෝෂණයෙන් පෙළෙති. තරුණ ජනගහනයෙන් සියයට 18 ක් මන්ද පෝෂණයෙන් පෙළෙති. ඉතා හොඳින් තුන්වේල කා සවි ශක්තිමත්ව සිටින ජාතියකට අත් වී ඇති ඉරණම ඉතා කනගාටුදායකය. භයානකය. මෙම තත්වයට වහ වහා පිළියම් යෙදිය යුතුය.

උපුටා ගැනීම ලංකාදීප

Social Sharing
නවතම පුවත්