ඊශ්‍රායලය විසින් පැහැරගත් සමීරා මෙහෙබුදීන් ඇතුළු පිරිස තුර්කියට පිටමං කෙරේ!

ගාසා තීරයේ ජනතාවට සහන ආධාර රැගෙන යමින් සිටියදී අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සමීරා මෙහෙබුදීන් ඇතුළු පිරිස නිදහස් කර තිබේ.

වාර්තා අනුව, ඔවුන් ඊශ්‍රායලයේ රමොන් ගුවන් තොටුපළෙන් විශේෂ ගුවන් යානා තුනක් මඟින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටමං කර ඇත.

ගාසා ජනතාවට සහන සේවා සැපයීමේ අරමුණින් තුර්කියේ සිට ගමන් ඇරඹූ “Global Sumud Flotilla” සහන මෙහෙයුමට අයත් යාත්‍රා 50කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත කණ්ඩායමක මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මෙලෙස ඊශ්‍රායල හමුදාවන්ගේ අත්අඩංගුවට පත්ව තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම අන්තර්ජාතික මුහුදු සීමාවේදී කිසිදු නීතිමය පදනමකින් තොරව සිදුකර ඇති බවට චෝදනා එල්ල වූ අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සහ අන්තර්ජාතික සංවිධාන රැසකින් දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ සිවිල් විරෝධතා මතුවිය.

එම ගෝලීය පීඩනය හමුවේ අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කිරීමට ඊශ්‍රායල බලධාරීන්ට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvir විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝවක් හේතුවෙන් මෙම සිදුවීම තවත් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

එම වීඩියෝවේ, සමීරා මෙහෙබුදීන් ඇතුළු අත්අඩංගුවට පත් පිරිස දණගස්වා බැනවදිමින් හා හිංසාකාරී ආකාරයෙන් හැසිරෙන දර්ශන ඇතුළත් වී ඇති අතර, බොහෝ විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය ඊශ්‍රායලයේ මානුෂීය ප්‍රතිරූපයට දැඩි බලපෑමක් එල්ල කළ බවයි.

සමීරා මෙහෙබුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් “Sri Lanka Global Sumud” සංවිධානය නිල ප්‍රකාශයක් නිකුත් කරමින්, ඇයගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ සියලු දෙනාට ස්තුතිය පළ කර තිබේ.

එමෙන්ම, මෙම සිදුවීමෙන් අනතුරුව සමීරාගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාකළ ශ්‍රී ලංකා රජයටද එම සංවිධානය විශේෂ ස්තුතිය පුදකර ඇත.

Social Sharing
නවතම පුවත්