
ගාසා තීරයේ ජනතාව වෙත මානුෂීය ආධාර රැගෙන තුර්කියේ සිට ගමන් ආරම්භ කළ යාත්‍රා 50කින් පමණ සමන්විත “ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා” සහන මෙහෙයුමට එක්වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මේ වනවිට ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සහන මෙහෙයුමේ අරමුණ වී තිබුණේ, ගාසාහි යුද සහ මානුෂීය අර්බුදයෙන් පීඩා විඳින ජනතාව වෙත ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය රැගෙන යාමයි.
අත්අඩංගුවට ගත් පිරිසට විවිධ අඩත්තේට්ටම් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරයෙකු වන Itamar Ben-Gvir විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කර ඇති බවද වාර්තා වේ.
අදාළ වීඩියෝව සහ ක්‍රියාකාරීන්ට ලබාදී ඇති සැලකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් දැඩි විවේචන එල්ල වී ඇති අතර එක්සත් ජාතීන් ඇතුළු රටවල් රැසක් එය හෙළා දැක තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය, නවසීලන්තය, කැනඩාව හා බෙල්ජියම යන රටවල්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන සමීරා මෙහෙබුදීන් ද සිටින බව වාර්තා වෙයි.
ගාසා තීරයේ දිගුකාලීන යුද තත්ත්වය හේතුවෙන් එහි ජනතාව දැඩි ආහාර, ජලය සහ ඖෂධ හිඟයකට මුහුණ දී සිටින අතර, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් එම ප්‍රදේශයට බාධාවකින් තොරව සහන ලබාදීමට ඉඩ ලබාදෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටී.
