ගුවන් හමුදා ආධුනික සෙබළෙකුට අමානුෂික ලෙස සැලකූ බවට චෝදනා! – තරංග. එල්. පටබැඳිගේ


දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබළෙකුට එම මධ්‍යස්ථානයේ උපදේශකවරුන් හා පුහුණු නිළධාරින් විසින් වධහිංසා පමුණුවා ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි මෙම සෙබළාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ජනාධිපති කාර්යාලය මේ වන විටත් අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. පුහුණුව ලබන අතරතුර මෙන්ම විවේකීව සිටින අවස්ථාවලදී ද විවිධ උපකරණ භාවිත කරමින් සෙබළාට පහර දී ඇති බවත්, ශරීරයට දැඩි වේදනාකාරී වධහිංසා පමුණුවා ඇති බවත් මව සිය පැමිණිල්ලේ සඳහන් කරයි.

පහරදීම්වලට අමතරව, සෙබළාගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙකු බව දැන දැනම, ඔහුට සහ ඔහුගේ වෘත්තියට නිලධාරීන් විසින් ප්‍රසිද්ධියේ අසභ්‍ය වචනයෙන් බැණ වැදී අපහාස කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම් හේතුවෙන් සෙබළා ශාරීරික හා මානසික වශයෙන් දැඩි පීඩාවකට පත්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති බව ද පැමිණිල්ලේ දැක්වේ.

මෙම සිද්ධිය පිළිබඳව ලද පැමිණිල්ල සලකා බැලූ ජනාධිපති කාර්යාලය, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබේ. මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (පැමිණිලි අංක HRC/1243/26) මෙම සිද්ධිය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් මැයි මස මුල් සතියේදී කොමිසම හමුවට කැඳවීම් කර ඇතත් වින්දිත පාර්ශවයේ ඉල්ලීම මත ඉදිරි දිනයකදී එය කැඳවීමට නියමිතව ඇත.

මෙම පුවත හුදෙක් පුද්ගලික සිදුවීමකට එහා ගිය, හමුදා පුහුණු ක්‍රමවේදයන් සහ මානව හිමිකම් පිළිබඳ සංවාදයකට මගපාදන්නකි. මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. යුද, ගුවන් හෝ නාවික වේවා ඕනෑම හමුදා පුහුණුවක මූලික අරමුණ වන්නේ සාමාන්‍ය සිවිල් වැසියෙකු මානසිකව හා ශාරීරිකව ශක්තිමත් වෘත්තීය සෙබළෙකු බවට පත් කිරීමයි.

හමුදා සේවය යනු අතිශය දුෂ්කර සහ අවදානම් සහගත රාජකාරියකි. එබැවින් පුහුණුව අතරතුර ලබාදෙන දැඩි ව්‍යායාම සහ නීතිරීති පද්ධතිය සකස් කර ඇත්තේ සෙබළාගේ විඳදරාගැනීමේ ශක්තිය (Endurance) උපරිම මට්ටමට රැගෙන ආධුනික සෙබළෙකු මෙම ක්‍රමවේදයට අනුගත වීම අනිවාර්ය වේ. ඉහළ නිලධාරීන්ගේ නියෝග පිළිපැදීම සහ පනවා ඇති කාලසටහනට අනුව කටයුතු කිරීම සෙබළාගේ වගකීමකි.

පුහුණුව කොතරම් දැඩි වුවද, එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් බැහැර විය නොහැක. 1994 අංක 22 දරන වධ දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුති පනතට අනුව, කිසිදු පුද්ගලයෙකුට (පුහුණුවන්නෙකු වුවද) ශාරීරික හෝ මානසික වධහිංසා පැමිණවීමට කිසිදු නිලධාරියෙකුට අයිතියක් නැත. ගුවන් හමුදා නීතිය යටතේ වුවද, යටත් නිලධාරියෙකුට අමානුෂික ලෙස සැලකීම හෝ අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

පුහුණුව යනු දඩුවම් දීම නොව, හැඩගැස්වීමයි. මෙම සිදුවීමේදී මව විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සත්‍ය නම්, එය පුහුණු පාසලක සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැර වූ තත්ත්වයකි. විශේෂයෙන්ම පවුලේ සාමාජිකයන්ගේ වෘත්තිය පදනම් කරගෙන අපහාස කිරීම සදාචාරාත්මක නොවන අතර එය සෙබළාගේ මානසික ඒකග්‍රතාවය බිඳවැටීමට හේතු වේ. හමුදා පුහුණුවකදී සෙබළෙකු උපරිම කැපවීමකින් පුහුණුවට අනුගත විය යුතු අතරම, උපදේශකවරුන් ද තම බලය භාවිත කළ යුත්තේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදිය. නීතියට පරිබාහිරව සිදුවන පහරදීම් හෝ වධහිංසා පමුණුවීම් පද්ධතියේ ගුණාත්මකභාවය පිරිහීමට හේතු වේ. එබැවින් මානව හිමිකම් කොමිසම සහ ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදුවන විමර්ශනය මගින් වින්දිතයාට යුක්තිය ඉටු වීම මෙන්ම, ආයතනික විනය රැක ගැනීම ද අපේක්ෂා කෙරේ

Social Sharing
නවතම පුවත්