ඇමරිකාවේ මිසයිලවලට ඉරානයෙන් ලැබුණු මැටි සිලින්ඩරයේ පිළිතුර

 


21 වන සියවසේදී යුද්ධය තවදුරටත් තුවක්කු සහ මිසයිල වලට පමණක් සීමාවී නොමැත. යුද පිටිය තවදුරටත් ගොඩබිම, මුහුද හෝ ගුවනට පමණක් නොව ඔබගේ ජංගම දුරකතනය තුළටද අවතීර්ණ වී තිබේ. දිනෙන් දින පුවත් මවන ගල්ෆ් යුද්ධයේ නවතම යුද පිටිය බවට පත්වී ඇත්තේ සමාජ මාධ්‍යයයි. උණ්ඩවලට වඩා වේගයෙන් තොරතුරු පැතිරෙන ලෝකයක, කෘත්‍රිම බුද්ධිය මඟින් ජනනය කෙරෙන වීඩියෝ, දේශපාලන උපහාස හා හෑෂටැග්ස් ආදිය අදහස් හැඩගැස්වීමේදී කෙතරම් බලපෑමක් කරන්නනේද යන්න මෙම “ඩිජිටල් ගැටුම්” සාක්ෂි දරයි. මෙලෙස X (පෙර ට්විටර්) අවකාශයේ පසුගියදා පළකෙරුනු අදහස් දෙකක් බහුතරයකගේ අවධානය දිනාගැනීමට සමත්විය.

පසුගිය දිනක ඇමරිකාවේ ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය නැවත ගල් යුගය කරා ගෙන යන බවට ප්‍රකාශයක් සිදුකරන ලද අතර, ඇමරිකානු යුද ලේකම් Pete Hegseth මෙම ප්‍රකාශය නැවත වතාවක් සිය X ගිණුමේ පළකොට තිබුණි. මෙයට පිළිතුරු වශයෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය සිය X ගිණුමට පහත සටහන එක්කොට තිබුණි.

“නුඹලා ගල්ගුහාවල ගින්දර සොයමින් සිටි කාලයේදී අපි සයිරස් සිලින්ඩරයේ මානව හිමිකම් සටහන් කළෙමු. මහා ඇලෙක්සැන්ඩර් හා මෝගල් අධිරාජ්‍යයා විසින් එල්ල කළ කුණාටු වැනි ආක්‍රමණ හමුවේ අපි නොසැලී සිටියෙමු. ඒ මන්දයත් ඉරානය යනු හුදෙක් රාජ්‍යයක් පමණක් නොව ශිෂ්ටාචාරයක්ද වන බැවිනි.”

බැබිලෝනියානු පුරාවෘත්තයේ බිඳවැටීම ආරම්භවනුයේ ක්‍රි. පූ. 539දී පර්සියානු අධිරාජ්‍ය නව-බැබිලෝනියානු අධිරාජ්‍යය යටත් කරගැනීමත් සමඟයි. මහා සයිරස් රජුගේ නායකත්වයෙන් මෙසපොතෙමියාවේ අවසාන ස්වදේශික රාජවංශයේ පාලනය අවසන් කරමින් “සාරවත් අඬසඳ” නමින් හඳුන්වන ප්‍රදේශයේ පාලනය බලය පර්සියානුවන්ට නතුවිය. මහද්වීප තුනක් පුරා පැතිර තිබූ පර්සියානු අධිරාජ්‍යයේ හදවත බඳු ස්ථානයක වර්තමාන ඉරානය පිහිටා තිබුණි.

මෙහි සඳහන්වන සයිරස් සිලින්ඩරය යනු, සයිරස් රජු විසින් ක්‍රි.පූ. 539දී බැබිලෝනියාව යටත් කරගැනීමෙන් අනතුරුව නිකුත් කරන ලද රාජකීය ආඥාවයි. මෙය ලෝකයේ මානව හිමිකම් පිළිබඳ පැරණිතම ප්‍රකාශනයක් ලෙස හඳුනාගන්නා ඓතිහාසික ලියවිල්ලකි. දිගින් අඟල් 9ක් සහ පළලින් අඟල් 4ක් වන මෙම සිලින්ඩරාකාර පුරාවස්තුව මැටියෙන් තනා ඇති අතර Akkadian Cuneiform Script යන පුරාණ අක්ෂර කොටා පුළුස්සා ඇත. මෙය 1879දී වර්තමාන ඉරාකයෙන් සොයාගන්නා ලදුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

සයිරස් සිලින්ඩරය බොහෝවිට නූතන මානව හිමිකම් දක්වා වර්ධනය වූ අදහස්වල මුල් සංකේතය ලෙස සැලකේ. මෙහි සංස්කෘතික විවිධත්ත්වයට ගරු කිරීම, ආගමික නිදහස සහ යටත් කරගත් ජනතාවට සධාරණ ලෙස සැලකීම අවධාරණය කළේය. අවතැන්වූ ප්‍රජාවට ඔවුන්ගේ මව්බිමට නැවත පැමිණීමට සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන නැවත ගොඩනඟාගැනීමට ඉඩලබාදීමෙන් වර්තමාන මානව හිමිකම් මූලධර්මවලට අනුකූලවන ගෞරවය සහ ස්වාධීනත්වය පිළිබඳ හැගීම ප්‍රවර්ධනය කළේය. මෙම ලියවිල්ල සයිරස් රජුගේ පාලනය නීත්‍යානුකූල කිරීමට අදහස් කරන ලද දේශපාලන ලේඛනයක් ලෙස සැලකුවද එහි නිදහස සහ මානව අනන්‍යතාවයට ගරුකිරීම වැනි වටිනාකම් පිළිඹිබු කරයි. එබැවින් සයිරස් සිලින්ඩරය මූලික මානව හිමිකම් සංකල්පය විධිමත් ලෙස පිළිගැනීමට බොහෝ කලකට පෙර පැවති ආකාරය නිරූපණය කරන ඓතිහාසික පදනමක් ලෙස වැදගත් වේ.

කෙසේ වෙතත්, ඉස්ලාමීය පාලනය යටතේ වර්තමාන ඉරානය දෙස බලන විට, යථාර්ථය බෙහෙවින් වෙනස් බව පෙනේ. වාර්තා මගින් භාෂණයේ නිදහස, ආගමික නිදහස සහ සාමකාමී විරෝධතා, අත්අඩංගුවට ගැනීම්, මරණ දණ්ඩනය සහ විරුද්ධ මත මර්දනය කිරීම පිළිබඳ දැඩි සීමාවන් පෙන්නුම් කරයි. මානව හිමිකම් පිළිබඳ මුල්ම අදහස් වලින් එකකට සම්බන්ධ වූ දේශයක් දැන් එම නිදහසම ආරක්ෂා කිරීමේදී බරපතල අභියෝගවලට මුහුණ දෙයි.

සටහන පවනි අමා

Social Sharing
නවතම පුවත් විශේෂාංග