ශ්‍රී ලංකාවේ ලක්ෂ 5කට ආසන්න පිරිසක් විරැකියාවෙන්!

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි ජනගහනයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව 2024 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව මගින් අනාවරණය වී ඇත. ඒ අනුව සංගණන වාර්තාවට අනුව මෙරට වැඩ කළ හැකි වයසේ (අවුරුදු 15ට වැඩි) මුළු ජනගහනය ලක්ෂ 172කට වැඩි බව සඳහන් වේ.

එම ජනගහනයෙන් 491,000ට අධික ප්‍රමාණයකට රැකියාවක් නොමැති, විරැකියාවෙන් පෙළෙන ජනගහනය ලෙස හඳුනාගෙන තිබේ. එමෙන්ම ආර්ථික වශයෙන් ක්‍රියාශීලී සහ රැකියාවල නියුක්ත ජනගහනය 7,671,000කට අධික වන අතර, සංගණනය කළ කාලය තුළ ශ්‍රම බලකායට අයත් මුළු ජනගහනය ලක්ෂ 81ක් ලෙස වාර්තා වී ඇත.

වැඩ කළ හැකි වයසේ සිටින නමුත් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 91ක් බවත්, එම පිරිස අතර පූර්ණ කාලීන ශිෂ්‍යයන්, ගෘහ කටයුතු කරන්නන්, විශ්‍රාමිකයින්, රෝගීන් සහ වෙනත් හේතූන් මත රැකියා නොකරන පුද්ගලයින් ඇතුළත් බව වාර්තාවේ දැක්වේ.

ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනය අතර වැඩි ප්‍රතිශතයක් ස්ත්‍රීන් වන අතර එය 70.6%ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනයෙන් 68%ක් පිරිමි පුද්ගලයින් වන බවද වාර්තාවෙන් පෙන්වා දෙයි.

සංගණන දත්ත අනුව ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනයට පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන 2,365,000 කට අධික වන අතර, ගෘහ කටයුතු කරන 3,358,000ට අධික වන අතර, විශ්‍රාමික හෝ වයස්ගත ජනගහනය 2,190,000 දෙනෙකුට අධික ප්‍රමාණයක් සහ ආබාධ සහිත හෝ දීර්ඝ කාලීන රෝගීන් 517,647 දෙනෙකු ඇතුළත් වේ.

ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල නියෝජනය වන අතර එය 78.9%ක් ලෙස වාර්තා වී ඇත. නාගරික ප්‍රදේශවල නියෝජනය 16.9%ක් වන අතර වතු ග්‍රාමීය සහ වතු නාගරික ප්‍රදේශවල නියෝජනය පිළිවෙලින් 4.1%ක් සහ 0.1%ක් ලෙස සඳහන් වේ.

වයස අවුරුදු 20ත් 24ත් අතර කාණ්ඩයේ වැඩි පිරිසක් රැකියා වියුක්තියට ලක්ව ඇති අතර, මුළු විරැකියාවෙන් 52.7%ක් කාන්තාවන් වන බව ද වාර්තාවෙන් අනාවරණය වේ.

සංඛ්‍යාත්මකව වැඩිම විරැකියාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල වන අතර, විරැකියා අනුපාතය ඉහළ අගයක පවතින්නේ මඩකළපුව, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල බවද සඳහන් වේ.

එමෙන්ම ශ්‍රම බලකායේ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන් ද සංගණනයෙන් විශේෂ තොරතුරු හෙළිවී ඇති අතර, රැකියා නියුක්ත ජනගහනයෙන් 117,293 දෙනෙකු පාසල් ගොස් නොමැති බව වාර්තා වේ. කෙසේවෙතත්, උසස් පෙළ හෝ උපාධි මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් ඇති කාන්තාවන්ගේ ප්‍රතිශතය ශ්‍රම බලකාය තුළ ඉහළ මට්ටමක පවතින බවද වාර්තාවෙන් පෙන්වා දෙයි.

 

 

 

Social Sharing
ආර්ථික පුවත්