අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළ බවට චෝදනා කරමින් අමාත්‍ය ලාල්කාන්තගෙන් මාධ්‍ය ආයතනයකට එන්තරවාසියක්

තමා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් පළ කර ඇති බවට චෝදනා කරමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් මාධ්‍ය ආයතනයක් වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.

පසුගිය 16 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී අදාළ මාධ්‍ය ආයතනය විසින් ප්‍රවෘත්ති ප්‍රකාශයක් මගින් මෙම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කර ඇති බව එම එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත.

එම එන්තරවාසිය අනුව, අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයේ අඩංගු කරුණු විකෘති කරමින් සහ වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රකාශ පළ කර ඇති බව සඳහන් වේ.

විශේෂයෙන්, අමාත්‍යවරයාගේ වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන බවට අදාළ මාධ්‍ය ආයතනය විසින් ගණනය කර ප්‍රකාශ කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් එම එන්තරවාසියේ සඳහන් කර ඇත.

එම පළ කිරීම හේතුවෙන් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සිදු වූ හානිය රුපියල් බිලියන 10ක් ලෙස තක්සේරු කර ඇති බවත්, එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත එම මුදල ගෙවන ලෙස අමාත්‍ය ලාල්කාන්තගේ නීතිඥවරයා විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම, රජය විසින් ලබා දුන් පොදු දේපළක් වන විකාශන සංඛ්‍යාත පෞද්ගලික දේශපාලන වුවමනාවන් සඳහා අවභාවිත කර ඇති බවට චෝදනා කරමින්, අදාළ මාධ්‍ය නාලිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කරන ලෙස බලධාරීන් වෙත කරුණු දැක්වීමටද කටයුතු කරන බව එම එන්තරවාසියෙන් අවධාරණය කර ඇත.

මෙම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තු සහිතව අදාළ වන්දිය අය කර ගැනීම සඳහා නඩු පවරන බවද එමගින් වැඩිදුරටත් දන්වා තිබේ.

Social Sharing
නවතම පුවත්