ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහළට – IMF අනතුරු ඇඟවීමක්

 

 

ඉරාන යුද්ධය හේතුවෙන් මේ වසර සඳහා ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහළ හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පියවර ගෙන තිබේ.

යුද්ධය දිගටම පැවතහොත් ගෝලීය ආර්ථිකය අභියෝගාත්මක තත්ත්වයකට පත්විය හැකි බවට IMF අනතුරු ඇඟවීමක්ද කර ඇත. විශේෂයෙන් දීර්ඝ කාලීනව ගැටුම පවතින අවස්ථාවක තෙල් මිල ඉහළ යාම ගෝලීය ආර්ථික අවපාතයකට ද හේතුවිය හැකි බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම තත්ත්වය හේතුවෙන් දල දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනය පහළ යාමක් ද අපේක්ෂා කෙරේ. කෙසේ නමුත් කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයට සිදු වන දැවැන්ත ආයෝජන හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතිනු ඇති බව IMF පෙන්වා දෙයි.

එසේ වුවද, බලශක්ති මිල ඉහළ යාම සහ සැපයුම් බාධා හේතුවෙන් චීනය සහ යුරෝපයේ ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි බවද එම වාර්තාවේ දැක්වේ.

ඉරාන යුද්ධයෙන් වැඩිම බලපෑමට ලක්වනු ඇත්තේ නැගී එන වෙළෙඳපොළ රටවල් බව IMF සඳහන් කරන අතර, ඉන්දියාව ඇතුළු රටවල් විකල්ප වෙළෙඳපොළ සහ සැපයුම් මාර්ග වෙත යොමුවිය හැකි බවද පෙන්වා දෙයි. ඉන්ධන ආනයනය මත දැඩි ලෙස යැපෙන ආර්ථිකයන්ට මෙම තත්ත්වය තුළ වැඩිම පීඩනයක් ඇතිවිය හැකි බවද සඳහන් වේ.

IMF විසින් ඉරාන යුද්ධය පදනම් කරගෙන මට්ටම් තුනක ආර්ථික පුරෝකථන ඉදිරිපත් කර ඇත. එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියෙරේ-ඔලිවියර් ගුරින්ෂාස් විසින් ඉදිරිපත් කර ඇති මෙම පුරෝකථන අනුව, ගැටුම් තත්ත්වය උත්සන්න වුවහොත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

ඒ අනුව 2026 වසරේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 දක්වාත්, 2027 වසරේදී ඩොලර් 125 දක්වාත් ඉහළ යා හැකි බව පුරෝකථනය කර ඇත.

කෙසේ නමුත් යුද්ධය කෙටි කාලයකින් අවසන් වුවහොත් මේ වසරේ දෙවැනි භාගය වනවිට තෙල් මිල බැරලයකට ඩොලර් 82 දක්වා පහළ යා හැකි බවද IMF පෙන්වා දෙයි.

දිගුකාලීන ගැටුම් තත්ත්වයකදී තෙල් මිල ඩොලර් 100 මට්ටමේ පවතිනු ඇති අතර, ගෝලීය ආර්ථික වර්ධනය 2025 වසරේ පැවති 3.4% සිට 2.5% දක්වා පහළ යා හැකි බව සඳහන් වේ. තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් එය 2% දක්වා පහළ යා හැකි බවද අනාවරණය කර ඇත.

එමෙන්ම වඩාත් අහිතකර තත්ත්වයකදී ගෝලීය උද්ධමනය 6% දක්වා ඉහළ යා හැකි අතර, සාමාන්‍ය වාතාවරණයකදී එය 4.4% පමණක් වනු ඇති බව IMF පුරෝකථනය කරයි.

Social Sharing
නවතම පුවත්