
බංග්ලාදේශයෙන් මැලේසියාව බලා ගමන් කළ සරණාගතයින් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් අන්දමන් මුහුදේ අනතුරට ලක්වීමෙන් එහි සිටි රෝහින්ග්‍යා සහ බංග්ලාදේශ ජාතිකයින් 250කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය නිවේදනය කරයි.
මෙම යාත්‍රාව පසුගිය 4 වැනිදා බංග්ලාදේශයෙන් පිටත්ව ඇති අතර, දින තුනකට පසු එය දැඩි කුණාටුවකට හසු වී ඇති බවට තොරතුරු ලැබී ඇත. අනතුරින් පසු යාත්‍රාව පෙරළී ඇති අතර, එහි සිටි පිරිසෙන් කිහිප දෙනෙකු ලී කැබලි සහ යාත්‍රාවේ සුන්බුන් මත රැඳී ජීවිත බේරා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
පසුගිය 11 වැනිදා අලුයම, බංග්ලාදේශ ධජය සහිත නෞකාවක් මගින් මුහුදේ පාවෙමින් සිටි පිරිසක් බේරාගෙන තිබේ. දිවි බේරාගත් පුද්ගලයින් ලබා දුන් තොරතුරු අනුව, යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි විශාල පිරිසක් ගමන් කර ඇති බව හෙළි වී ඇත.
බංග්ලාදේශ වෙරළාරක්ෂක බළකාය සඳහන් කරන්නේ අතුරුදන් වූ සංඛ්‍යාව නිශ්චිතව තහවුරු කර නොමැති නමුත් එය 250කට ආසන්න විය හැකි බවයි. තවද, අතුරුදන් වූ පුද්ගලයින් හෝ අනතුරට ලක්වූ ට්‍රෝලර් යාත්‍රාව පිළිබඳ තවදුරටත් හෝඩුවාවක් නොමැති බවද ඔවුන් පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් සෙවීම් සහ බේරාගැනීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
