මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් බලපෑමට පත් ජනතාවට සහන රැසක්

මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට පත් ජනතාවට සහන රැසක් සැලසීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව සියලුම අස්වැසුම ප්‍රතිලාභින්ට අමතර විශේෂ සහන දීමනාවක් ලබා දීම ඇතුළු දීමනා ලබා දීමට රජය සැළසුම් කර තිබේ

පොදුවේ ලබා දී ඇති ඉන්ධන සහනාධාරයට අමතරව, බල ශක්ති මිල ඉහළ යාම හේතුවෙන් සෘජුවම බලපෑමට ලක් ව ඇති අඩු ආදායම්ලාභීන්, විදුලි පාරිභෝගිකයින්, ගොවීන්, ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් හා කුඩා තේ වගාකරුවන් වෙත පහත පරිදි සහන සැලසීම සදහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ සහන සැලසීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ඇමති මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතිය ලැබී ඇති සහන මෙසේය.

1. අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දේ. ඒ අනුව රුපියල් 7500 ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම, රුපියල් 5000 ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දීම සහ රුපියල් 2500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දීමට නියමිතය.

2. ඉන්ධන මිල ඉහළ යාමත්, පවතින වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලිය ජනනය කිරීම් සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදු වන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90 ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03 ක කාලයක් සඳහා රජය විසින් දැරීම.

3. දැනට හෙක්ටයාරයකට රුපියල් 25000ක් වශයෙන් ලබා දෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30000 ක් දක්වා ඉහළ නැංවීම සහ කුඹුරු වල වගා කරනු ලබන අතිරේක භෝග සඳහා දැනට ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් 15000 ක් වන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 18000 ක් දක්වා ඉහළ නැංවීම.

4. යල කන්නය සඳහා අවශ්‍ය වන යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10200 ක් බැගින් වූ ස්ථාවර මිලකට ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දීමට පහසුකම් සැලසීම.

5. ධීවර කර්මාන්තයේ යෙදෙන එක් දින ධීවර යාත්‍රාවක් වෙනුවෙන් දිනකට ඉන්ධන ලීටර 25ක් බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50 බැගින් වූ සහනාධාරයක් මාස 03 ක කාලයක් සඳහා ලබා දීම.

6. ඉදිරි මාස 03 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150000 ක එකවර ගෙවනු ලබන දීමනාවක් ලබා දීම.

7. දැනට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබා දෙනු ලබන කුඩා තේ වගා කරුවන් සඳහා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් සඳහා රුපියල් 5000 ක එක් වරක් පමණක් ගෙවනු ලබන අමතර පොහොර දීමනාවක් ලබා දීම.

උපුටා ගැනීම දිවයින

Social Sharing
නවතම පුවත්