මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බව IMF පවසයි.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි අතර ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ලබන සතියේ නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථනය (World Economic Outlook) වාර්තාවට පෙර ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඉරානය විසින් අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට මෙතෙක් සිදු වූ දරුණුතම බාධාවක් ඇතිව ඇති බවද ඇය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අප්‍රේල් 14 වැනිදා නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික දර්ශක (World Economic Outlook) වාර්තාව මගින් විවිධ ආර්ථික තත්ත්වයන් පිළිබඳ නවතම පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට IMF සූදානමින් සිටින බවයි.

යුද්ධය හේතුවෙන් ඇති වූ බලපෑම් සහ මූල්‍ය කොන්දේසි දැඩි වීම හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය පහත වැටිය හැකි බවට මීට පෙරද ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම, යුද්ධය ඇති නොවූයේ නම් වසංගතයෙන් පසු ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් පැවති බැවින් 2026 වසරේදී 3.3% ක සහ 2027 වසරේදී 3.2% ක ගෝලීය ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ බවද ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Social Sharing
නවතම පුවත්