
2009 වසරේදී අවසන් වූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට මේ 2026 වසරේ මැයි 18 වන දිනට වසර 17ක් සපිරෙන අතර, යුද්ධය නිම වී දශක එකහමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් එහි අතුරු ප්‍රතිඵල තවමත් වින්දිතයන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත.
විශේෂයෙන්ම යුධ සමයේදී සහ ඉන් පසුව සිදු වූ ලිංගික ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව අවධානය යොමු කර ඇති මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, එම කම්පන සහගත අත්දැකීම්වලට මුහුණ දුන් බොහෝ වින්දිතයන් අදටත් දිගුකාලීන ශාරීරික හා මානසික පීඩාවන්ට මුහුණ දෙමින් සිටින බවයි. එම පීඩාවන් අතර කල් පවතින ශාරීරික තුවාල, වඳභාවය, මානසික බිඳවැටීම් සහ සියදිවි නසාගැනීමේ සිතිවිලි වැනි තත්ත්වයන් ඇතුළත් වන බවද වාර්තාව සඳහන් කරයි.
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් යුද්ධයක බලපෑම් නිම නොවන බවත්, එවැනි ගැටුම්වලින් ඇති වන මානසික හා සමාජීය තුවාල සුව වීමට වසර ගණනාවක් ගත වන බවත් මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත. යුද පශ්චාත් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තුළ වින්දිතයන්ට දිගුකාලීන සහාය ලබාදීම අත්‍යවශ්‍ය බවද එහි සඳහන් වේ.
මෙම කරුණු පිළිබඳව ලිපියක් රචනා කළ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රීනිවාසන් මහත්මිය පෙන්වා දෙන්නේ, උතුරු ශ්‍රී ලංකාවේ මුල්ලිවයික්කාල් වැනි ප්‍රදේශවල වාර්ෂිකව පවත්වනු ලබන අනුස්මරණ උත්සව හුදෙක් සැමරීමකට පමණක් සීමා නොවී, ගැඹුරු සමාජීය සහ මානුෂීය වේදනාවක සංකේතයන් ලෙස ද පවතින බවයි.
ඇය අනුව, යුද්ධයේ අඳුරු සෙවනැලි සමාජයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නම්, වින්දිතයන්ගේ මානසික සහ ශාරීරික සුවපත්භාවය වෙනුවෙන් පුළුල් සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කර ඇත.
උපුටා ගැනීම TTV News
