නීතිඥවරයෙකුට පොලිසියෙන් බාධා කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

 

2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට අදාළව පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකුගේ වෘත්තීය කටයුතුවලට බාධා කිරීම හරහා එම නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව එවක මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාර විසින් රුපියල් 60,000 ක් සහ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මධුශංක ඩයස් විසින් රුපියල් 30,000 ක් පෙත්සම්කරුට සිය පුද්ගලික මුදල් වලින් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එමෙන්ම, අදාළ වගඋත්තරකරුවන් දෙදෙනා විසින් පෙත්සම්කරුට රුපියල් 10,000 බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවටද අධිකරණය නියෝග කර තිබේ.

නීතිඥ ප්‍රියලාල් චමින්ද සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබිණි.

එහිදී විනිසුරු ජනක් ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

තීන්දුවේ සඳහන් පරිදි, 2017 වසරේ නොවැම්බර් මාසයේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පැවති පැමිණිලි විභාගයකදී පෙත්සම්කාර නීතිඥවරයා කාන්තාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අදාළ පැමිණිල්ලට සම්බන්ධ පාර්ශවකරුවන් පමණක් කාමරය තුළට ඇතුළත් කර, පෙත්සම්කාර නීතිඥවරයාට පිටත රැඳී සිටින ලෙස දැනුම් දී තිබූ බව පෙත්සමේ සඳහන් කර ඇත.

තවද, එම අවස්ථාවේදී වුට්ලර් උදයකුමාර නමැති නිලධාරියා නීතිඥවරුන් සම්බන්ධයෙන් අසම්මත ප්‍රකාශයක් සිදු කළ බවටද පෙත්සම්කරු චෝදනා කර තිබේ.

කෙසේ වෙතත්, වගඋත්තරකාර වුට්ලර් උදයකුමාර අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා තුළ සඳහන් කර ඇත්තේ, අදාළ පැමිණිල්ලේ පාර්ශවකරුවන් තරුණ යුවළක් බැවින් විවාහ ආරවුල සාමකාමීව විසඳා ගැනීමට උපදෙස් ලබා දීමට පමණක් කටයුතු කළ බවත්, නීතිඥවරයාගේ වෘත්තීය කටයුතු සඳහා බාධා නොකළ බවත්ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ, 2012 මැයි 18 දින පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 1758/36 අංක දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, රාජකාරී කටයුතු සඳහා පොලිස් ස්ථානයකට පැමිණෙන නීතිඥයෙකුට සුහදව සහ ආචාරශීලීව සැලකිය යුතු බව පැහැදිලිව සඳහන් කර ඇති බවයි.

එමෙන්ම නීතිඥවරයෙකුට තම සේවාදායකයා නියෝජනය කිරීමට ඇති අයිතිය එමගින් පිළිගෙන ඇති බවත්, වගඋත්තරකාර නිලධාරීන් විසින් පෙත්සම්කරු සුහදව පිළිගැනීමට යුතුව තිබූ බවත් අධිකරණය පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(උ) වගන්තිය යටතේ සහතික කර ඇති වෘත්තීය කටයුතු ඉටු කිරීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව බහුතර විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

එහෙත්, මෙම නඩුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වෙනම තීන්දුවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධිය තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් තහවුරු නොවන බවයි.

ඒ අනුව, තමන් විසින් අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන බවද අගවිනිසුරුවරයාගේ වෙනම තීන්දුවේ සඳහන් වේ.

Social Sharing
නවතම පුවත්