ආරක්ෂිත ස්ටිකර් ව්‍යාපෘතියෙන් සුරාබදු ආදායම 60%කට වැඩි වර්ධනයක්

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර තුන තුළදී සියයට 60කට අධික වර්ධනයක් වාර්තා කර ඇති අතර, එම වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමේ ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සියලුම මත්පැන් බෝතල්වලින් නියමිත පරිදි බදු අයකිරීම අරමුණු කරගනිමින් මෙම ආරක්ෂිත ස්ටිකර් ව්‍යාපෘතිය 2022 වසරේ ජනවාරි මස ආරම්භ කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුවට අනුව, ව්‍යාපෘතිය ආරම්භ කළ 2022 වසරේදී රුපියල් බිලියන 170ක ආදායමක් ලැබී ඇති අතර එය 2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 30ක වර්ධනයක් ලෙස වාර්තා වී ඇත. එම ආදායම 2023 වසරේදී රුපියල් බිලියන 178 දක්වාත්, 2024 වසරේදී රුපියල් බිලියන 226 දක්වාත් තවදුරටත් ඉහළ ගොස් තිබේ.

තවද, 2025 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා මාස 9ක කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 190ක ආදායමක් උපයා ඇති අතර එම කාලය සඳහා නියමිත ඉලක්කය වූ රුපියල් බිලියන 177 ඉක්මවා රුපියල් බිලියන 13.4ක අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවද සඳහන් වේ.

එමෙන්ම, 2025 වසර සඳහා රජය විසින් නියම කර තිබූ සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 242ක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම ආරක්ෂිත ස්ටිකර් ව්‍යාපෘතිය හඳුන්වා දුන් ආරම්භක අවධියේදී, බොහෝ මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ස්ටිකර් යොදන ක්‍රියාවලිය සම්පූර්ණ ලෙස අනුගමනය නොකිරීම හේතුවෙන් රජයට හිමිවිය යුතු සුරාබදු ආදායමෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් අහිමි වන බවට චෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව සිදු කළ වැටලීම් සහ පරීක්ෂණ මගින් එම ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය මගින් බදු ආදායම ඉහළ නැංවීම පමණක් නොව, ප්‍රමිතියෙන් යුත් මත්පැන් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යාජ මත්පැන් පහසුවෙන් හඳුනා ගැනීම ද සාර්ථකව සිදු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකර් ඇළවීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ ‘මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් (MSP)’ ආයතනයට ලබා දී ඇති අතර, කොන්ත්‍රාත්තුවට අනුව ආරක්ෂිත ස්ටිකර් 1,000ක් සඳහා එක්සත් ජනපද ඩොලර් 5.99ක මුදලක් ගෙවනු ලබන අතර එක් ස්ටිකරයක් සඳහා රුපියල් 1.21ක් පමණ වැය වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය යටතේ සුරාබදු බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදන ආයතන 70ක් සහ මත්පැන් ආනයන කරන ආයතන 18ක් සම්බන්ධීකරණය කරමින් ආරක්ෂිත ස්ටිකර් යෙදීම සිදු කෙරේ.

තවද, ආරක්ෂිත ස්ටිකර් (Foolproof Stickers) සහ ආරක්ෂිත ඩිජිටල් මුද්‍රණ (Digital Printing) යන වර්ග දෙකකින් මෙම ආරක්ෂිත මුද්‍රාවන් හඳුන්වා දී ඇති අතර, ඒවා යොදා ගැනීම නිෂ්පාදන ආයතනවල තාක්ෂණික හැකියාව සහ නිෂ්පාදන ධාරිතාව අනුව තීරණය කෙරෙන බවද සඳහන් වේ.

මෙම ස්ටිකර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් ද නව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව නව යෙදුවමක් සකස් කර ‘සර්ට්’ ආයතනය වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්