
අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උත්සවය ඊයේ (31) පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව කළමනාකරණ තොරතුරු පද්ධතිය සැලසුම් කර ඇත්තේ දිවුරුම් කොමසාරිස්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, සාම විනිසුරුවරුන්, නිල නොවන මහේස්ත්‍රාත්වරුන් සහ දිවුරුම් දුන් පරිවර්තකයන් වැනි තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා වෘත්තීය මට්ටමකට පත් කිරීම සඳහාය.
ව්‍යුහාත්මක ක්‍රමවේද සහ දියුණු තේරීම් නිර්ණායක හඳුන්වා දීම මඟින් මෙම පද්ධතිය හරහා පත් කිරීම්වල විනිවිදභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමටත්, පරිපාලනමය ප්‍රමාදයන් සහ අක්‍රමිකතා අවම කිරීමටත් අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය, යුරෝපා සංගමයේ මෙරට නියෝජ්‍ය ප්‍රධානී Edoardo Spacca මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හි මෙරට නියෝජ්‍ය ප්‍රධානී Marina Ten මහත්මිය සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ) කිශාන්තී මීගහපොළ මහත්මිය අදහස් පළ කළහ.
එමෙන්ම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උසස් නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
