මුස්ලිම් වැසියන් 167 දෙනෙකුගේ සමූහ මිනීවළක් සොයා කුරුක්කල්මඩම් හී කැණීම් කටයතු අරඹයි.

මීට වසර 36 කට පෙර කල්මුණේ ප්‍රදේශය හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි මුස්ලිම් වැසියන් 167 දෙනෙකු ඝාතනය කර වළදමා ඇති බවට සැක කෙරෙන සමූහ මිනීවළක් සම්බන්ධයෙන් කැණීම් කටයුතු මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ.

මෙම සැකසහිත සමූහ මිනීවළ සොයා සිදුකරන කැණීම් කටයුතු වල පළමු දිනය මාර්තු 30 සවස අවසන් වූ බව වාර්තා වේ. පළමු දිනයේ සිදුකළ කැණීම්වලදී මිනිස් අස්ථි හෝ ශේෂ කිසිවක් හමුවී නොමැති බව ද සඳහන් වේ. එම කැණීම් කටයුතු මාර්තු 31 නැවත ආරම්භ කර ඇත.

1990 අගෝස්තු 12 වන දින හජ් වන්දනා කටයුතු අවසන් කර කල්මුනේ හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි බැතිමතුන් පිරිසක් ද ඇතුළුව මුස්ලිම් වැසියන් 167 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරේ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයට චෝදනා එල්ල වී ඇත.

කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අවසරය අනුව, මහේස්ත්‍රාත් ටී. ප්‍රදීපන් ඉදිරියේ මෙම කැණීම් කටයුතු මාර්තු 30 ආරම්භ කෙරිණි.

මෙම විමර්ශන කටයුතු සඳහා සහාය වීමට අධිකරණ වෛද්‍යවරුන් සහ වෝහාරික වෛද්‍ය විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින අතර, මන්මුනේ දකුණ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ද මෙම කටයුතු සඳහා එක්ව සිටිති.

කැණීම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටී. ප්‍රදීපන්, නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කලවංචිකුඩි හා මඩකලපුව පොලිස් නිලධාරීන්, අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.

මෙම සමූහ මිනීවළ සම්බන්ධයෙන් නඩු විභාගය මුල්වරට 2012 වසරේදී ආරම්භ කර ඇති අතර, 2014 වසරේදී එය අත්හිටුවා තිබිණි. පසුව 2017 වසරේදී නැවත නඩු විභාගය ආරම්භ කර ඇත.

සමූහ මිනීවළ පවතින බවට සැලකෙන ප්‍රදේශය කැණීමට නියෝගයක් ලබා ගැනීම සඳහා 2025 වසරේදී පෙත්සමක් ගොනු කර තිබූ අතර, 2026 මාර්තු 9 දින පැවති නඩු විභාගයේදී එම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කිරීමට අධිකරණය විසින් නියෝගය නිකුත් කර ඇත.

කැණීම් කටයුතු පළමු අදියර යටතේ හඳුනාගත් ප්‍රදේශයක මීටර් 5 × 5 ප්‍රමාණයක භූමිභාගයක් අඩි 9ක් පමණ ගැඹුරට කැණීමට සැලසුම් කර ඇති අතර, එම කටයුතු එළඹෙන ඉරිදා (අප්‍රේල් 05) දක්වා සිදු කිරීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්