
දකුණු ලෙබනනයේ සිදු වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අල් මයාඩීන් මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී ෆාතිමා ෆටූනි ඊයේ දින (29) මරා දමා ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඇගේ මාධ්‍ය ජාලය සහ බහු ජාත්‍යන්තර ප්රවෘත්ති ආයතන සඳහන් කළේ, දකුණු ලෙබනන් දිස්ත්‍රික්කය වන ජෙසීන් ප්‍රදේශයේ යුද පෙරමුණෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආවරණය කරමින් සිටියදී, පැහැදිලිව “Media” ලෙස සලකුණු කර තිබූ මාධ්‍ය වාහනයකට ඊශ්‍රායලය කෙලින්ම මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
එම ප්‍රහාරයෙන් ෆාතිමා ෆටූනි සමඟ ඇගේ සහෝදරයා වන කැමරා ශිල්පියෙකු වූ මොහොමඩ් ෆටූනි සහ අල්-මනාර් මාධ්‍ය ජාලයේ වාර්තාකරුවකු වන අලි ෂෝයිබ් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ෆාතිමා ෆටූනි හිස්බුල්ලා සන්නද්ධ සටන්කරුවන්ට සම්බන්ධ බවට සැක ඇති බැවින් ප්‍රහාරය එල්ල කළ බවයි. කෙසේවෙතත්, එම චෝදනාවට සහාය වන කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව වාර්තා සඳහන් කරයි.
මෙම ප්‍රහාරය මාධ්‍යවේදීන් ආරක්ෂා කරන ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් ලෙස ලෙබනන් රජය දැඩි ලෙස හෙළා දැක තිබේ. ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් මහතා මෙම සිද්ධිය “දරුණු අපරාධයක්” ලෙස හඳුන්වා දෙමින්, එය ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව ද ප්‍රකාශ කර ඇත.
අල් මයාඩීන් මාධ්‍ය ජාලය සඳහන් කළේ, ෆටූනිගේ ඝාතනයට පෙර ද, ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇගේ ඥාතීන් කිහිපදෙනෙකු මරා දමා තිබූ බවයි.
තවද, වර්තමාන ගැටුම් තත්ත්වය තුළ දැනට ලෙබනන් මාධ්‍යවේදීන් හය දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
