
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ ක්‍රියාවලියට බාධා වන නෛතික ගැටලු ඉවත් කිරීම සඳහා යෝජිත නීති සංශෝධන කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඒ සඳහා පත් කළ විශේෂ කමිටුව අතර පැවති සාකච්ඡාවකදී, මෙම නීති සංශෝධන කෙටුම්පත සංශෝධන සමඟ හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.
ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළට සමාජයේ විශ්වාසය තහවුරු කිරීම සඳහා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒ සඳහා විධිමත් හා කාර්යක්ෂම ක්‍රියාපටිපාටියක් සකස් කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට සකස් කර ඇති නීති සංශෝධන කෙටුම්පත අනුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ගතවන කාලය තවදුරටත් අඩු කර ගැනීමට හැකියාව පිළිබඳවද මෙහිදී සවිස්තරයෙන් සාකච්ඡා කෙරුණි.
මෙම ක්‍රියාවලියේදී අධිකරණ, පොලිසිය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇති අතර, පැමිණිලි මෙහෙයවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට ඇති බාධා පිළිබඳවද කරුණු ඉදිරිපත් කර ඇත.
මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ ලෙස තබාගෙන දිගුකාලීනව පවතින තත්ත්වය අවම කිරීම මඟින් ජාවාරම්කරුවන්ට ලැබෙන වාසි අඩු කිරීමත්, එවැනි ද්‍රව්‍ය නැවත සමාජගත වීමේ අවදානම වළක්වා ගැනීමත් මෙම නීති සංශෝධනවල ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
එමෙන්ම, මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.
මෙම සාකච්ඡාවට අදාළ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අදාළ ආයතන නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
