Per Anger සම්මානයෙන් පිදුම් ලැබූ මීගමුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු – මාකස් ප්‍රියන්ත පෙරේරා

Adela sampath abduction is the beginning of disappearance Brito Fernando

1980–90 දශකවල මීගමුවේ තරුණයන්ට ජවයක් වූ බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතාට මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර “Per Anger” සම්මානය පිරිනමා ඇත. මීගමුවේ බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතාට මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවීම අනිවාර්යයෙන්ම අගය කළ යුත්තකි.

අප කුඩා අවධියේදී, මීගමුව පෙරියමුල්ල දේවස්ථානයේ ක්‍රියාකාරිකයෙකු වූද, එහි කන්තාරු කණ්ඩායමේ නියමුවකු වූද, පෙරියමුල්ල තරුණ සමාජය පිහිටුවමින් ප්‍රදේශයේ තරුණ තරුණියන් සවිබල ගැන්වීමට කැපවූ ද, බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතා, ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රකට රැඩිකල් සමාජ ක්‍රියාකාරිකයෙකු විය.
පසුව, මීගමුවේ හිටපු පියතුමෙක් වූ ලීනස් ජයතිලක සමඟ එක්ව නව සමසමාජ පක්ෂයේ දේශපාලනයට පිවිසි ඔහු, එම පක්ෂයේ මීගමුව ආසන්නයේ ප්‍රධාන සංවිධායකයා ලෙසත්, මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කළේය.

1988–89 භීෂණ සමයේදී මරාදැමූ හා අතුරුදහන් වූවන් වෙනුවෙන් නව සමසමාජ පක්ෂය විසින් පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ මාපිය දූදරු සංගමය හරහා, අතුරුදහන් වූවන්ගේ, මරාදැමූවන්ගේ සහ පැහැරගනු ලැබූවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ කාර්යභාරයට ඔහුද සම්බන්ධව සිටියේය.

නව සමසමාජ පක්ෂයට නායකත්වය දුන් වාසුදේව නානායක්කාර මහතා සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අතර බෙදීමක් ඇතිවීමත් සමඟ, වාසුදේව නානායක්කාර මහතා චන්ද්‍රිකාගේ මැතිනියගේ පොදුජන පෙරමුණ සමඟ එක්වීම නිසා, අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු සෙවීම සහ යුක්තිය ඉල්ලා කටයුතු කිරීම ද අඩාල විය.

අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු සෙවීම සහ යුක්තිය ඉල්ලා කටයුතු කිරීම 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පත් කිරීම සඳහා දායක වූ දේශපාලන වැඩපිළිවෙළක් බවට පත්වූවාට වඩා ඉන් එහාට ගිය විශේෂ ප්‍රගතියක් අත්කර දීමක් සිදු නොවීනි.

එහෙත්, නිදහස් වෙළඳ කලාපයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන්ද එවකට මැදිහත්ව සිටි බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සමඟ එක්ව වැඩ කළ ජයන්ති දන්දෙනිය මහත්මිය විවාහ වීමට නියමිතව සිටි රංජිත් සහ ඔහුගේ මිතුරා වූ ලයනල් සීදූව රද්දොළුගම හන්දියේදී ඝාතනය කර පුලුස්සා දැමීමත් සමඟ, බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතා සහ ජයන්ති දන්දෙනිය ඇතුළු පිරිස එක්ව රංජිත් හා ලයනල් සඳහා යුක්තිය ඉල්ලා කටයුතු කිරීමට පෙරමුණ ගත්හ.

එම පියවර අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයා යෑමේ නව ගමනක ආරම්භය සටහන් කළේය.

ඔවුන් 1990 ඔක්තෝබර් 27 දින පැවැත්වූ රංජිත්–ලයනල් සමරු වැඩසටහන, ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා නැගී සිටි ප්‍රථම අවස්ථාවක් ලෙස සැලකේ. එයින් අනතුරුව, රද්දොළුගම හන්දියේ අතුරුදහන් වූවන් සඳහා ස්මාරකයක් ඉදිකිරීමටද බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පෙරමුණ ගත්තේය.
අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කටයුතු කිරීමේදී, බොහෝ පිරිසක් කාලයත් සමඟ එම සටන අත්හැර ගියද, බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතා එම කටයුත්තේ දිගින් දිගටම නිරතව සිටියේය.

අතුරුදහන් වූවන්ට යුක්තිය සෙවීමේ ක්‍රියාවලියේදී ඔහුගේ සුවිශේෂී දායකත්වය වන්නේ, එතෙක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල 1988–89 කාලයේ අතුරුදහන් වූවන්ට පමණක් සීමා වී තිබූ අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය සෙවීමේ කටයුතු, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ද ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමයි.
මෙවැනි කාර්යභාරයක් ඉටු කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර සම්මානයක් ලබා දීම, ඔහුගේ වටිනා සේවාව පිළිගැනීමකි. එම සම්මානය ප්‍රදානය කිරීමේදී, විනිශ්චයකාර මණ්ඩලයද ඔහුගේ දායකත්වය ඉහළින් අගය කර ඇත.
සම්මානය ප්‍රදානය කරමින් ජුරි මණ්ඩලය සඳහන් කර ඇත්තේ මෙසේය:
.
“බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා, සමාජයේ අසරණ හා පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නැගීමේ ද, ශ්‍රී ලංකාවේ දේශපාලන හිංසනයන්ට ගොදුරුවූවන් සහ සිවිල් යුද්ධ කාලය තුළ අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය අනාවරණය කිරීමේ ද, සිය ජීවිතය පුරා කැපවී සිටි අයෙකි. Per Anger සම්මානය ප්‍රවර්ධන කරන ආදර්ශයන්ට අනුව, පුද්ගලික ලාභයක් හෝ විශේෂ ගෞරවයක් අපේක්ෂා නොකර, හඬක් නොමැති අය වෙනුවෙන් ධෛර්යයෙන් ඉදිරියට පැමිණ සිටීම බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ විශේෂත්වයකි.
අපරාධයන්ට වගකීව යුත්තන් හෙලිකරගැනීමට සහ යුක්තිය ඉටු කිරීම සඳහා ඔහු, අඛණ්ඩව කැපවී ක්‍රියාකරයි. ඔහු තමන්ගේ ආරක්ෂාවට පවා අවදානමක් ඇතිව තිබියදී, සමාජ සාධාරණත්වය වෙනුවෙන්, සියලු දෙනාටම සමානව යුක්තිය ඉටුවන සමාජයක් ගොඩනැගීමට උත්සාහ දරයි. ගැඹුරු බේද භින්නවීම්වලින් ලක්වූ රටක, ජාතික හා ආගමික කණ්ඩායම් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමටද ඔහු කැපවී සිටියි.

ඒ අනුව, බිටෝ ප්‍රනාන්දු මහතාට Per Anger සම්මානය ප්‍රදානය කිරීම, මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔහු ඉටු කළ දිගුකාලීන හා නිර්ලෝභී කැපවීම පිළිබඳ උසස් පිළිගැනීමක් ලෙස සැලකිය යුතුය – Brito Fernando has dedicated his life to advocating for the marginalised and seeking the truth about those who disappeared during Sri Lanka’s periods of political violence and civil war. In the spirit of Per Anger, without seeking personal gain or recognition, he courageously stands up for those whose voices are not heard.
Brito Fernando works tirelessly to demand accountability and redress. He emphasises the importance of remembrance and reconciliation. At the risk of his own safety, he defends the idea of a society where justice applies to all, whilst building bridges between ethnic and religious groups in a country marked by deep divisions.
It is therefore of particular significance that Brito Fernando is awarded the Per Anger Prize – a recognition of a lifelong commitment in the service of humanity.”

අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් යුක්තිය ඉල්ලා, ඔවුන්ට සවියක් සහ බලයක් වී සිටින බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතා, 1980–90 කාලයේ තම යෞවනය ගෙවමින් සිටි අප වැනි තරුණ – තරුණියන් බොහෝ දෙනෙකුගේ ජීවිත මුවහත් කර ගැනීමට නිරන්තරයෙන්ම දායක වූවෙකි. ඔහුගේ අභීත පෙරමුණ ගැනීම්හි ආශ්වාදය අපගේ සිත් තුළ සදා ජීවමානය.

Social Sharing
නවතම පුවත්