එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හදිසි රැස්වීමක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් ඊයේ දිනයේ (25) ජිනීවාහිදී පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විවාදය කැඳවා ඇත්තේ, ඉරානය විසින් පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් සිදුකරන ප්‍රහාර හෙළා දකිමින් බහරේන් සහ ගල්ෆ් රාජ්‍යයන් කළ ඉල්ලීමක් අනුවය.

ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර ආරම්භ වී ඊයේ දිනට දින 26ක් ගතව ඇති අතර, මෙම ගැටුම තවදුරටත් උත්සන්න වන ලකුණු පෙන්වීමක් සිදු කරයි. ඒ සමඟම ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.

තත්ත්වය තවදුරටත් දැඩි කරමින්, ඇමරිකාව විසින් හමුදා භටයින් 2,000කට අධික පිරිසක් මැදපෙරදිග කලාපය වෙත යොමු කර ඇති බවද සඳහන් වේ.

ඒ අතර, එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර ආරම්භ කර තිබේ.

එමෙන්ම ඉරානය විසින් ලෝක වෙළඳාමට වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර, සතුරු නොවන නැව් සඳහා සීමිතව එය විවෘත කර ඇති බවද වාර්තා වේ.

මෙම ‘හදිසි’ විවාදයේදී, ඉරානය විසින් සිදුකරන ප්‍රහාර, බලශක්ති යටිතල පහසුකම්වලට ඇති බලපෑම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති අවදානම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Social Sharing
නවතම පුවත්