උතුරේ මාධ්‍ය වේදීයාට එල්ලවන මරණ තර්ජන පිළිබඳ පොලීසිය නිහඬ පිළිවෙතක

කිලිනොච්චි ප්‍රදේශයේ නිදහස් මාධ්‍යවේදියෙකුට එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන්, විශ්වසනීය සාක්ෂි සමඟ පැමිණිලි කර තිබියදීත්, සැකකරුට එරෙහිව පොලිසිය විසින් මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ උතුරේ මාධ්‍ය සංවිධාන දැඩි කනස්සල්ල පළ කර තිබේ.

මාර්තු 23 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකදී කිලිනොච්චි මාධ්‍ය සංසදයේ ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ, නිදහස් මාධ්‍යවේදී ධර්මලිංගම් පරමසිවා (සීවා) වෙත දුරකතන මාර්ගයෙන් එල්ල වූ මරණ තර්ජනය පොලිසිය විසින් සුළු කොට සැලකීම, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරන බවයි.

ඒ අනුව, නිසි සාක්ෂි සහිතව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබියදීත්, තර්ජනය කළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම පොලිසියේ ලිහිල්භාවයක් ලෙස ඔවුන් විවේචනය කරයි. එම ක්‍රියාකාරකම් නීතියේ ආධිපත්‍යය පිළිබඳ මහජන විශ්වාසය ද දුර්වල කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තර්ජනයට හේතුව වී ඇත්තේ, කිලිනොච්චියේ ජනප්‍රිය පාසලක පැවැති නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයකට නීති විරෝධී වැලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ආරාධිතයන් ලෙස සහභාගී වූ බවට මාධ්‍යවේදියා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක් බව අනාවරණය වී තිබේ.

ඒ සටහනේ පුද්ගල නාම හෝ පාසලේ නම සඳහන් නොකළද, එය පළ කිරීමෙන් පසු තමන්ට දුරකතන මාර්ගයෙන් බරපතළ මරණ තර්ජනයක් එල්ල වූ බව මාධ්‍යවේදියා පවසයි. එම තර්ජනය ලබා දුන් පුද්ගලයා “ජනා” ලෙස හඳුන්වාගෙන, සමාජ මාධ්‍ය සටහනේ අදහස් වෙනස් නොකළහොත් ජීවිතයට හානි කරන බවට තර්ජනය කර ඇති බවද වාර්තා වේ.

මෙම තර්ජනය හේතුවෙන් තම දෛනික ජීවිතය තුළ බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්, වාහන ශබ්දයක් පවා ඇසෙන විට තම ආරක්ෂාව පිළිබඳ සැකයක් මතුවන බවත් මාධ්‍යවේදියා ප්‍රකාශ කර තිබේ.

සටහන The Leader.lk හි පළවූ  පුවතක් ඇසුරෙනි.

Social Sharing
නවතම පුවත්