පළාත් සභා මැතිවරණ ක්‍රමය සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව පළමුවරට රැස්වේ.

 

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව, එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ හඳුන්වා දී ඇති මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් සම්පූර්ණ කර නොමැති වීම හේතුවෙන් නීතිමය බාධාවක් මතුව ඇති බවයි. එම තත්ත්වය පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ, අධ්‍යාපනය හා සෞඛ්‍ය ඇතුළු වැදගත් රාජ්‍ය සේවා බහුතරයක් පළාත් සභා මඟින් පාලනය වන බැවින්, වසර 9කට ආසන්න කාලයක් පළාත් සභා නොපැවැත්වීමෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි. ඒ අනුව, පවතින නීතිමය බාධා හේතුවෙන්, තාවකාලිකව පැරණි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමටත්, පසුව නව ක්‍රමය සංශෝධනය කිරීමටත් යෝජනා ඉදිරිපත් කර ඇත.

කාන්තා සහ තරුණ නියෝජනය වැඩි දියුණු කිරීම ඇතුළුව නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා පුළුල් හා ගැඹුරු සංවාදයක් අවශ්‍ය බවද සභාපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා, මීළඟ රැස්වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමටද තීරණය කර තිබේ.

මෙම විශේෂ කාරක සභාව, පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සභාපතිවරයා සිහිපත් කළේය.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් මහත්වරුන් සහ මන්ත්‍රීවරුන් වන ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. නිසාම් කාරියප්පර්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහත්වරුන්ද සහභාගී වූහ.

Social Sharing
නවතම පුවත්