
මහඇදුරු ගෞ. ඇලෝසියස් පීරිස් පියතුමා අද දින ( මාර්තු 22 ) වයස අවුරුදු 92 ආයු වළඳා ස්වර්ගස්ථ විය. ලංකාවේ බිහි වූ විශිෂ්ථතම දේවධර්මාචාර්යවරයෙක් වන එතුමානන් ඊට එහා ගිය සමාජ විමුක්තියක් වෙනුවෙන් ක්‍රියා කළේය. මේ එතුමන් ගැන එතුමන් සමීපයෙන් ක්‍රියා කළ කිතුසර කණ්ඩායමේ මුහුණු පොතේ පළවූ සටහනකි.
දරුවන් 12 දෙනෙකුගෙන් යුත් පවුලක දසවෙනියා ලෙස 1934 අප්‍රේල් 09 වනදා උපන්න ඇලෝසියස් පීරිස් හැදුනේ වැඩුනේ මහනුවර අම්පිටිය ග්‍රාමයේය. අම්පිටිය සාන්ත මරියා විදුහල හා ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදැරීය. අම්පිටිය දෙව්සත්හල (එවකට පේපල් සෙමනේරිය) රැඳුනු එහි අපූරු පරිසරය හා බෞද්ධ වටපිටාවට කුඩා කළ ඔහුගේ කිතුනු චින්තනය සකස් කළේය.
පූජක පුහුණුවේ මුල් අවදිය.
කුඩා කළ දීම සුවාමි කෙනෙකු වීමට ආශාවක් ඔහු තුල ජනිත විය. මේ නිසාම වයස අවු 12 වන විට ලතින් භාෂාව ඉගෙන ගැනීමට ඔහුට උවමනා විය. ඒ සඳහා ඔහුට අම්පිටියේ එවකට තිබුණු ශුද්ධාසන දෙව්සත්හලේ ජේසු නිකායික සුවාමි කෙනෙකු උදව් විය. මේ දරුවා කොතෙක් දක්ෂ වීද යත් වසර 2 ක් යන විට අළුත් ගිවිසුම හා ක්‍රිස්තු අනුසාරය ලතින් භාෂාවෙන් කියවන්න හැකි විය. මේ කාලය වන විට ඇලෝසියස් ගේ පියා ඉංග්‍රිසි භාෂා පාසලේ ප්‍රධානාචාර්යවරයෙකු වූවද ජාතික නිදහස පිළිබඳ හැඟීම්වලින් පිබිදුනු භාෂා ප්‍රේමියෙකු හා දේශප්‍රේමියෙකු විය. දරුවා යන පාර ඔහුට ඇල්ලුවේ නැත. ඒත් ඉගෙනීමට උන්නදුව දක්වන ඔහුට බාධා කළේද නැත. එහෙත් පාලි භාෂා පඩිවරයකු මාර්ගයෙන් මේ දරුවාට පාලි උගන්වන්නට ඔහු කටයුතු කළේය. ඉන්පසු අවුරුදු 14 දී පමණ ගාල්ලේ පුංචි සෙමනේරියට ඇතුලු වන විට ඇලෝසියස් දරුවා පාලි හා ලතින් භාෂා දෙකම හොඳින් දැන සිටියේය. එවකට ඔහු අධ්‍යාපනය ලබමින් සිටි ශාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යක්ෂක පියතුමාව සිටි ගරු පර්නියෝලා ජේ. නි. පියතුමාද පාලි භාෂා විශාරදයකු වීම ඔහුගේ ගමනට මනා පිටිවහලක් විය.
1953 වසර ලන්ඩන් උසස් පෙළින් සමත් වී ඉන්දියාවට ගොස් ජේසු නිකායට ඇතුල් විය. එහිදී L.Ph දර්ශන උපාධිය ලබා බ්රාහ්මණ පණ්ඩිතයකු යටතේ සංස්කෘත මාධ්යයෙන්ම සංස්කෘත භෘෂාව හදාරා, යලි ලංකාවට පැමිණ පාලි සංස්කෘත වලින් බී. ඒ. උපාධිය ගෙන ඉන් ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහලේ නේවාසිකාගාරය භාරව කටයුතු කරමින්ද, එම පාසලේ ගණිතය හා පාලි භාෂාව උගන්වමින්ද වසරක් ගත කළේය.
දේව ධර්මය හැදැරීම හා දේව ධර්මය කිරීම.
පසුව දේව ධර්මය අධ්යයනය සඳහා ඉතාලියේ නේපල්ස් හී ජේසු නිකායිකයින් යටතේ තිබු සුද්ධාසන දේව ධර්මය පීඨයට (Pontifical Theological Faculty) ඇතුලත් විය. මෙය දෙවන වතිකානු කතිකාව පැවති යුගය විය. එබැවින් එම දර්ශනය හොඳින් උරා ගැනීමට අවස්ථාව ලැබිණි. ඉතාලියේ අධ්‍යයන කටයුතු කළ එම යුගය ඇලෝසියස් පීරිස් පියතුමාගේ ජීවිතයේ වැදගත් අත්දැකීම් රැසකට නිරාවරණය වු යුගයක් විය. එහිදී ඉතාලි ජාතික තරුණ සංවිධානයක අධ්‍යාත්මික අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය. තවද රෝහල රෝගීන් සඳහා ආගමික කටයුතු භාරව කටයුතු කිරිමට අවස්ථාව ලැබිනි. එමෙන්ම ඉතාලියේ මුඩුක්කුවකද වැඩ කළේය. දෙවන වතිකානු කතිකාවේ ආභාසය නිසා දේව ධර්මය පීඨයේදී බොහෝ වෙනස්කම් සිදු විය. ඒ නිසාම බොහෝ පර්යේෂණ හා අත්හදා බැලීම් වලට එතුමාට නිදහස ලැබිනි. ඒ අතර තුර වත්පිළිවෙත් ගැන බොහෝ කරුණු ගවේෂණය කළේය. ඒ පිළිබඳව විශේෂ පුහුණුවක්ද ලැබිය. සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලද මෙතුමා ස්ටෙෆාන් පොරුධ්ශන් බයිබල විශාරදයා යටතේ හෙබ්‍රෙව් භාෂාවෙන් ශුද්ධ ලියවිල්ල හැදැරීමද කළේය. යම් නිදහසක් ලැබුනත් ඇතැම් විට ප්‍රශ්න මතුවු අවස්ථාද නොතිබුණා නොවේ. එහෙත් හිටපු අධ්‍යක්ෂක පියවරු එතුමාව රැක්කහ. ඉදිරියටම තල්ලු කළහ.
දෙව වතිකානු මන්ත්‍රණ සභාවේ ස්ප්රීතුව හා මුහුසු දෙව්දහම් චින්තනයද රැගෙන ඇලොයි පියතුමා ලංකාවට ආවේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. ආ විගසම රාහුල වාචිස්තර හිමිවරුන් යටතේ බුදුදහම පිළිබඳව P.H.D විභාගයට පෙනී සිටියේය. දෙමටගොඩ ප්‍රදේශයේ මුඩුක්කු වල වැඩ කරන්නට පටන්ගත්තේ එසේ පර්යේෂණ කරන අතරමය. වෛද්‍ය ශිෂ්‍යයන්, විශ්ව විද්යාල ශිෂ්‍යයන් වැන්නන් සමඟ එම ප්‍රදේශවල සැරි සරමින් කළ කටයුතු ඇලොයි පියතුමාගේ දේව ධාර්මික නැණැස තව තවත් මුවහත් කරන්නට සමත් විය. තවද තරුණ පිරිස් සමඟද විවිධ වැඩ කටයුතු ආරම්භ කළේය. ඒ අතර “Cineforum” , නම්ලත් සිනමා විචාර මණ්ඩපයක් ආරම්භ කළේය. හැම සතියකම චිත්‍රපටයක් නරඹා ඒ පිළිබඳ විචාරාත්මක කතිකාවක් ගොඩනැගීම එහි දි සිදු විය.
තුලන පර්යේෂණ ආයතනය බිහි කිරීම
1974 දී පියතුමා විසින් පිහිටුවන ලද තුලන පර්යේෂණ ආයතනය අන්තර් ආගමික අන්තර් නිකායික සංවාදය හා විමුක්ති කතිකාව පෝෂණය සඳහා ඉටු කරන ලද මෙහෙය අතින් ශ්රී ලංකාවේ ඒ පිළිබඳ ප්රමුඛ ආතනය යැයි කීම අතිෂයෝක්තියක් නොවේ. එය ශ්රී ලංකාව තුළ පමණක් නොව අන්තර්ජාතිකවද ඉහළ පිළිගැනීමක් ඇති ආයතනයකි. බොහෝ විදේශිකයින් මෙම ආයතනය විවිධ පර්යේෂණ සඳහා භාවිත කොට ඇත.
තුලන වනාහි තවත් එක් මධ්‍යස්ථානයක් නොවේ. එය විමුක්ති අධ්‍යාත්මිකත්වය විශද කරන කලා, මූර්ති, චිත්‍ර ඇතුලත් සුවිසල් කලාගාරයක් බඳුය. ඒ සියල්ල තුළ ඇලෝසියස් පියතුමාගේ සාමයීක, විමුක්ති දැක්ම ගැබ්ව පවති. එහි බොහෝ නිර්මාණවලට බොදුනු පූජ්ය ස්වාමින් වහන්සේලා දායක වී ඇත. ශ්‍රී ලංකාවේ උතුරු දකුණ වෙනසක් නොමැතිව සිදුවු අතුරුදහන් කිරිම් වලින් අහිමි වු මිනිසුන් ගැහැනුන් සිහි කිරිම සඳහා නිර්මාණය කර ඇති මූර්තිය ඉන් එකක් පමණය.
තුලන පර්යේෂණ මධ්යස්ථානය ලංකාවේ විශිෂ්ඨතම පුස්තකාලයක් සහිත ස්ථානයක් පමණක් නොවේ. ඊට අනුයුක්ත වු තුලන මාධ්ය අංශය විශාල තරුණ පිරිසකට සිනමා ගුවන් විදුලි නාට්ය රංග කලා ආදි ක්ෂේත්‍ර ගණනාවක ඉදිරියට යාමට මග පෙන්වු ක්‍රියාවලියකි. එසේ ම උන්වහන්සේගේ මග පෙන්වීම් යටතේ කැළණිය, ලුම්බිණි ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ළමයින්ගේ ශික්ෂණ මධ්යස්ථානය ශ්‍රව්‍ය හා කථන ආබාධිත ළමයින්ට සුවිශේෂි අධ්යාපනයක් ලබා දෙන ආයතනයකි.
පාලම් තනන්නා
ඇලොයි පීරිස් පියතුමා බොදුනු-කිතුනු සංවාදයේ ඉහළම තලය හා පහළම තලය යන දෙකම තුළ භාවිතය යෙදුනෙකි. අන්තර් ආගමික සංවාදය මෙන්ම අන්තර් සභා සංවාදය මගින් එතුමෝ ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශියන් තුළ ජනතා හදවත් යා කරන පාලම් තනන්නෙකු විය.
එතුමාගේ සුවිශේෂ මෙහෙවරක් වූයේ විමුක්ති දේව ධර්මය හා ආසියානු දේව ධර්මය පිළිබඳ ලංකාවේ සියලුම පරම්පරාවලට අයත් වන පූජක, පැවිදි, ගිහි සියල්ලන් අතර ද එතුමා පාලම් තැනැන්නෙකු වීමයි.
විකල්ප ධාරාවේ පූජක ගිහි පැවිදි පීරිස් විවිධ තලයන් හිදී වාරණයට ලක්වෙද්දී එතුමා ඔවුන් සියල්ලන්ට ශක්තියක් විය. කීර්තිමත් දෙව් දහම්ධරයෙකු වු ගරු තිස්ස බාලසූරිය පියතුමා ව සභාවෙන් නෙරපීමේ උත්සහයක් පැවැති මොහොතක ගරු ඇලොයි පියතුමා තමා උපයාගත් සියලු බුද්ධිමය ශක්තිය හා දෙස් විදෙස් සබඳතා භාවිත කරමින් කළ මැදිහත් වීම එකක් පමණි.
ගෝලීය ප්‍රඥයා හා මුනිවරයා
ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂඨතම දේව ධර්ම ප්‍රඥයා එතුමාය. එපමණක් නොවේ ගරු ඇලොයි පීරිස් පියතුමා මෑත යුගයේ ලොව ජීවත්ව සිටි ප්‍රමුඛතම දේව ධර්ම ප්‍රඥයා ලෙස හැඳින්විය හැකිය. එතුමා කිසි විටකත් සිය ප්‍රඥා මහිමයෙන් හිස උදුම්මාගත් කෙනෙකු නොවිය. ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කළ එතුමා තුලන අසපුවේ මධ්‍යස්ථානය තුළ මුනිවර ජිවිතයක් ගත කළේය. එතුමෝ වරෙක මෙසේ ප්‍රකාශ කළේය.
’ක්‍රිස්තියානියේ අනන්‍යතාවය යනු අල්පේච්ඡතාවය පමණක් නොවේ. දයාවේ සේවාවද පමණක් නොවේ. බොහෝ ආගම් මේ ලෝකය තුළ එය සිදු කරයි. නමුත් ක්‍රිස්තියානිකාරයා දයාවේ ක්‍රියාව තුළ පමණක් නොනැවති ද්‍රරිද්‍රයාගේ අරගලය සමඟ එක්වෙමින් ඉන් දරිද්‍රයා මුදවාලීමට සටන් කරන්නෙක්ද වෙයි. සැබැ කිතුනු අනන්‍යතාවය එයයි’
ඇලොයි පිය සම්ප්‍රදායක්.
එතුමා විශිෂ්ඨ කෘති 30 කට වඩා ලියා පළ කර ඇති අතර පර්යේෂණ පත්‍රිකා 500 කට වඩා ඉදිරිපත් කර ඇත. ලිපි දහස් ගණනක් ලියා ඇති අතර ප්‍රකට දේව ධර්ම සඟරා ගණනාවක සංස්කාරකවරයා ලෙස කටයුතු කර ඇත. එසේම එතුමා ලොව ප්‍රකට විශ්ව විද්යාල හා ආයතන රැසක කථීකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති දෙස් විදෙස් සම්මන්ත්රණ, රැස්වීම්, දහස් ගණනකට සම්පත්දායකයෙකු ලෙස දායක වී ඇත.
ඇලොයි සුභාවිතය
ඇලොයි පියතුමාගේ ශාස්ත්‍රීය ජයග්‍රහණයන්, ප්‍රඥාවන්ත භාවය ආදියත් එතුමාගේ බුදු දහම පිළිබඳ දැනුමත්, බොහෝ දෙනෙකු එතුමා ව අගය කිරීම සඳහා භාවිත කරන මිනුම් දඩු වේ. නමුත් අපගේ ගෞරවාදරය එතුමාට හිමිවීම ප්‍රධාන කාරණය වන්නේ ඒවා නොවේ. එතුමා සම්ප්‍රදායික බුද්ධිමතෙකු වු වනු වෙනුවට එෛන්ද්‍රීය බුද්ධිමතෙකු ලෙස ක්‍රියා කිරීමයි. එනම් පවතින සමාජයේ අසාධාරණ වහූහයන් වෙනස් කිරිම සඳහා වන භාවිතයක් සමඟ තම ප්‍රඥාව මුසු කිරීමයි. එසේ නොවන්නට ආචාර්ය මහාචාර්ය දේව ධර්මාචාර්ය උපාධි ඇති දහස්ගණනක් අතර එතුමෝ තවත් එක් අයෙකු පමණක් ම වේ. නමුත් අපගේ ආදරය එතුමාට හිමි වන්නේ එකී සුභාවිතයේ වටිනාකම නිසාමය. එතුමා දැල්වු ආලෝකය පීඩිතයාගේ විමුක්තිය සඳහා වු අරගලය සමඟ බද්ධ කිරිම හැරුනු විට එතුමා සුරුවමක් බවට පත් කිරිම එතුමා සමඟ ඇති සබඳතා ඉස්මතු කර සැනසීම අර්ථ විරහිතය. එතුමාව අපට ජීවත් කළ හැක්කේ එතුමා දැල් වු විමුක්ති ආලෝකය ජන අරගලය තුළ නොනැසී පවත්වා ගැනීමෙනි.
