ගෝලීය යුධ අවදානම මධ්‍යයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නව HRFAC මධ්‍යස්ථානය කොළඹදී

මූලික මානව අයිතිවාසිකම් පවා බරපතල ලෙස උල්ලංඝනය වන මොහොතක මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් අප වෙනදටත් වඩා හඬ නැගිය යුතු බව පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පලකළේ අද (13) ආරම්භ කිරීමට නියමිත කොළඹ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පිළිබදව අයිතිය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය සහිත ලෝක බලවතුන් කිහිප දෙනෙකු විසින් රටවල් කිහිපයකට එරෙහිව සිදු කර ඇති ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගෝලීය වශයෙන් බරපතල යුධමය වාතාවරණයක් නිර්මාණය කර තිබේ. මෙවැනි අවස්ථාවක අපි වගේ රටවල් කටයුතු කරන්නෙ මෙවැනි යුද්ධයට වචනයකින් වත් සහයෝග නොදී ඉන්න. නමුත් අවසානාවකට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී ඉරාන නාවික යාත්ත්‍රාවකට පහර දීමත්, තවත් යාත්‍රාවක් උදව් ඉල්ලා සිටිමේ සිද්ධියත් සමග අපට මේ මහා යුද්ධයට අකමැත්තෙන් හෝ පැටලෙන්න සිද්ධ වුනා.

ශ්‍රී ලංකාව 1982 වසරේ දී අත්සන් කළ එක්සත් ජාතින්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට United Nations Convention on the Law of the Sea (UNCLOS) හේතුවෙන් තමයි අපට මීට පැටලෙන්නෙ. එහි 98(2) ව්‍යවස්ථාව අනුව අදාළ මුහුදු සීමාව තුළ ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම අප සතුයි.

එමෙන්ම, අන්තර්ජාතික නාවික සංවිධානයේ (International Maritime Organization) සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව 1979 සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියයේ (SAR) පාර්ශවකාරයෙකුත් වෙනවා. ඒ අනුව අපට කටයුතු කරන්න සිද්ධ වුනා.

යුද්ධයක් පවතින වතාවරණයක දී මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, අන්තර් ජාතික සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය වෙනවා. ඒ සදහා අපට දේශීය මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ඕනෑ තරම් තිබෙනවා. පළමු ලෝක යුද්ධ, දෙවැනි ලෝක යුද්ධ අවස්ථාවේ දීත් මීටත් වඩා කෘෘර ආකාරයෙන් කටයුතු සිද්ධ වුනා. එම කෘෘරත්වයේ ප්‍රථිපලයක් ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මෙම අන්තර් ජාතික යාන්ත්‍රණයන් ගොඩනැගුණේ. එම බැමිවලින් අප බැද තිබෙන නිසයි 3වන ලෝක යුද්ධයක් ඇතිවෙන එක මෙතෙක් නතර වී තිබෙනවා. එම බැමි තවත් ලිහිල් වුනොත් මේ තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක් දක්වා පැතිර යා හැකියි.

ඉරාන නැව් බේරාගැනීමට එරෙහිව අපට පහර දුන්නොත් එහි මූලාආරම්භයක් විය හැකියි. නමුත් එසේ වෙන බවක් පේන්න නැහැ. යුද්ධය දිගට ඇදෙන විට අදාල පාර්ශවකරුවන්ට ඉතා අපහසු වෙනවා. ජන විරෝධය ප්‍රබල වෙනවා.

යුධමය වාතාවරණයක දී කිසිදු අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැහැ. මූලික අවශ්‍යතාවත් සපුරාගත නොහැකි වෙනවා. දැනටමත් එහි ප්‍රතිපල අප දැනටමත් භුක්ති විදිනවා.

මෙවන් ලෝක යුධමය වාතාවරණයක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන බොහෝ සීමාවන්ට මුහුණ දෙන පසුබිමක, අප මෙතෙක් ආරක්ෂා කරගෙන පැමිණි මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තවදුරටත් සුරක්ෂිත කර ගැනීම සඳහා පුළුල් කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

මේ සම්බන්ධව ඇති උන්නදුව අවබෝධය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි. මානව නිදහස හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත නොවන සමාජයකින් ප්‍රථිපලයක් නොමැති බව පෙන්වා දිය යුතුයි.

එම අරමුණෙන් මානව හිමිකම් සුරක්ෂිත කිරීමත්, එම අයිතිවාසිකම් වැඩි දියුණු කිරීමත් අරමුණු කරමින් Colombo Human Rights First Aid Center (HRFAC) ආරම්භ කෙරෙන්නේ. දැනටමත් මෙවැනි මධ්‍යස්ථාන 24ක් දිස්ත්‍රික්ක 19ක් පුරා ස්ථාපිතව තිබෙනවා. මේ ආරම්භ වෙනන්නේ එහි 25 වන ඒකකයි.

මෙහි පුහුණුව ලත් මානව හිමිකම් ආරක්ෂකයො ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන විවිධාකාරයේ ගැටළු පිළිබදව සෘජුව මැදිහත් වෙනවා. එම ගැටළු සමාජ ගත කිරීමට විවිධාකාරයෙන් කටයුතු කරනවා.

මෙම මධ්‍යස්ථානය හරහා

  • අයිතිවාසිකම් උල්ලංඝනයන් ලේඛනගත කිරීම,
  • වින්දිතයින්ට අවශ්‍ය සහාය ලබාදීම,
  • නීතිමය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම,
  • මානව හිමිකම් පිළිබඳ දැනුම සහ අවබෝධය පුළුල් කිරීම

වැනි ක්ෂේත්‍රයන් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.

Colombo HRFAC මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම්

  1. ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන විවිධ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් උපදෙස් හා සහාය ලබා දෙන සේවා කවුලුවක් ස්ථාපිත කර පවත්වාගෙන යාම.
  2. මානව හිමිකම් පිළිබඳ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීම.
  3. මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම හා කඩවීම් පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය ව්‍යාපාර සංවිධානය කිරීම.
  4. කාලීන මාතෘකා සම්බන්ධව සාකච්ඡා, සම්මන්ත්‍රණ, කුඩා රැස්වීම් සහ මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම.
  5. තෝරාගත් නාට්‍ය, චිත්‍රපට හෝ විශේෂාංග ප්‍රදර්ශනය කර ඒවාට අදාළ සංවාද සංවිධානය කිරීම.
  6. දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ Referral Systems ස්ථාපිත කර පවත්වාගෙන යාම.
  7. කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා මානව හිමිකම් ඇතුළු විවිධ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.

මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, මීට ඔබට සක්‍රීය ලෙස දායක විය හැකියි.

 

Social Sharing
නවතම පුවත්