විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම්.

විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, තවත් 79 දෙනෙකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ගේ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට 118 සහ 197 යන දුරකථන අංක මෙන්ම වෙබ් අඩවි සහ විශේෂ විමර්ශන ඒකක 11ක් ස්ථාපිත කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම පොලිස්පතිවරයාට හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සෘජුව පැමිණිලි කිරීමට ද මහජනතාවට හැකියාව ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනට දිවයින පුරා පොලිස් ස්ථාන 608ක් ක්‍රියාත්මක වන අතර, සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 79,782ක් බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අතරින් සාමාන්‍ය සේවයේ නිලධාරීන් 71,424ක්, විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 7,256ක් සහ සහායක සේවයේ නිලධාරීන් ඇතුළත් වන බවද ඔහු කියා සිටියේය.

පොලිස් සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ වන විට නිලධාරීන් 17,000ක් පමණ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බවද අමාත්‍යවරයා හෙළි කළේය. ඒ යටතේ උප පොලිස් පරීක්ෂකවරුන් 325ක් සහ කොස්තාපල්වරුන් 6,530ක් ඇතුළු පිරිසක් බඳවා ගැනීමට නියමිතය.

එමෙන්ම පොලිස් සේවයේ පිරිස් බලය ශක්තිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති අතර, ඔවුන්ට නවාතැන් සහ ආහාර දීමනා ලෙස රුපියල් 25,200ක අමතර දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ඔහු පැවසීය.

පසුගිය කාලය තුළ සිදු කළ අපරාධ මර්දන මෙහෙයුම් මගින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව 2024 වසරේදී වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 22ක්, පැදිකරුවන් 14ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 57ක් ඇතුළු සැකකරුවන් 315 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම 2025 වසරේදී වෙඩික්කරුවන්, පැදිකරුවන්, තියුණු ආයුධ භාවිතා කරමින් පහරදීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 408 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහාද පියවර ගෙන ඇති අතර, ස්ථානමාරු ලබන නිලධාරීන් මුහුණ දෙන නේවාසික ගැටලු විසඳීම සඳහා රුපියල් මිලියන 4,100ක වියදමින් නිවාස 352කින් සමන්විත නිවාස සංකීර්ණයක් නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

Social Sharing
අවකාශය පුවත්