
රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගත් සිදුවීමක් ඊයේ දිනයේ (17) වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට අනුව ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
පැමිණිලිකරුගේ නීත්‍යනුකූල බිරිඳ විසින් දරුවන්ට නඩත්තු මුදල් ගෙවීම සඳහා නඩුවක් පවරා තිබූ අතර, නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පැමිණිලිකරුට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර එම විවෘත වරෙන්තුව අවලංගු කරගැනීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නඩත්තු නඩුවට අදාළ විස්තර වාර්තාවේ සහතික පිටපතක් ලබාදීමට රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
සැකකරු අංක 621, අක්බර් පල්ලිය පාර, වාලච්චේන 05 හි පිහිටි ක්වාසි අධිකරණ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වාලච්චේන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබයි.
