ආපදාවෙන් බලපෑමට ලක්වූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින්, හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසෙන නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ ජනතාව සවිබල ගැන්වීම සඳහා 2025 දෙසැම්බර් 05 දින නිකුත් කළ අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛයට සමගාමීව වන අතර, එම සහන වැඩසටහන තවදුරටත් පුළුල් කර වඩා කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා 2025 දෙසැම්බර් 20 දිනැති අංක 08/2025(i) සහ 2026 ජනවාරි 22 දිනැති අංක 08/2025(iii) දරන චක්‍රලේඛයන් ද නිකුත් කර ඇත.

හානියට පත් ව්‍යාපාර සඳහා එක්වරක් පමණක් ලබා දෙන දීමනා

නව චක්‍රලේඛයට අනුව, ආපදාවෙන් බලපෑමට ලක්ව ඇණ හිට ඇති තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් දීමනා ලබා දීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව,

  • කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-
  • ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-
  • ලියාපදිංචි නොවූ, ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට රු. 50,000/-
  • ලියාපදිංචි නොවූ නිෂ්පාදන කර්මාන්ත, හරිතාගාර ඇතුළු ඒකක සඳහා ඒකකයකට රු. 50,000/-
  • පදික, ජංගම සහ අනෙකුත් තාවකාලික ව්‍යාපාරික ස්ථාන සඳහා රු. 25,000/- දීමනා ලෙස ලබා දීමට නියමිතය.

ව්‍යාපාරික ගොඩනැඟිලි සඳහා වන්දි සහන

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ ස්ථීර ව්‍යාපාරික ගොඩනැඟිලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ව්‍යාපාර ගොඩනැඟිලි හිමියන්ට ද වන්දි සහන ලබා දීමට නව චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සලසා ඇත.

ඒ අනුව,

  • හානි තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැඟිලි හිමියෙකුට එක් ව්‍යාපාරයකට රු. 500,000/- දක්වා
  • හානි තක්සේරුවකින් පසු වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැඟිලි හිමියෙකුට තක්සේරුගත වටිනාකම මත එක් ව්‍යාපාරයකට උපරිම ලෙස රු. 5,000,000/- දක්වා වන්දි ලබා දීමට කටයුතු කර ඇත.

ඉහත දීමනාවලට අමතරව පහත ණය පහසුකම් ද සලසා දී තිබේ.

මෙම දීමනාවලට අමතරව තම ව්‍යාපාර හානියට පත්වූ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ද තවදුරටත් ආයෝජනය කිරීම අවශ්‍ය වන ව්‍යාපාරවලට ණය යෝජනා ක්‍රමයක් ද භාණ්ඩාගාරය විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව, හානි වු ව්‍යාපාර නැවත ආරම්භ කිරිම සඳහා බැංකු පද්ධතිය තුළින් කාරක ප්‍රාග්ධනය ලෙස රු. 250,000/- සිට රු. 25,000,000/- දක්වා 3% ක පොළියක් යටතේ ණය ලබා ගැනිමට පහසුකම් සලසා ඇති අතර, එම ණය මාස 06 සහන කාලයකට යටත්ව අවුරුදු 03 කින් ගෙවා නිම කළ යුතුය.

ව්‍යාපාර නැවත නගාසිටුවීමේ ආයෝජන ණය ලෙස තම ව්‍යාපාර හානිවි ඇති ව්‍යවසායකයින් සඳහා රු. මිලියන 25 දක්වා 5% පොළිය යටතේ මාස 12 සහන කාලයක් සහිතව අවුරුදු 10න් ගෙවිමට හැකිවන සේ බැංකු හරහා ණය ලබා ගැනීමටද අවශ්‍ය කටයුතු සලසා දී තිබේ.

Social Sharing
අවකාශය පුවත්