
බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතව සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මාරක රිය අනතුරකට ලක්ව සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් වන්දි ලබාදෙන ලෙස නියෝග කරන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 15 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නියෝග කර ඇත.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, සෝහිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි.
අනතුරින් මියගිය සිසුවෙකුගේ පියෙකු වන මිත්‍ර වාහලවත්ත මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වග උත්තරකරුවන් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු බලධාරීන් කිහිප දෙනෙකු නම් කර ඇත.
පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් 30 වන දින ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා බදුල්ල ප්‍රදේශයට බස් රථයකින් පිටත්ව ගිය බවත්, එදින රාත්‍රී 7.45 ට පමණ දුන්හිද ප්‍රදේශයේදී එම බස් රථය මාරක රිය අනතුරකට ලක්වූ බවත්ය.
එම අනතුරේ ප්‍රතිඵලයක් ලෙස සිය පුත්‍රයා ඇතුළු සිසුන් දෙදෙනෙකු මියගිය බව පෙත්සම්කරු සඳහන් කර ඇති අතර, අදාළ බස් රථයේ කාර්මික දෝෂ ගණනාවක් පැවති බවත්, රියදුරුට නිසි රියදුරු බලපත්‍රයක් නොතිබූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බලධාරීන් වගකිව යුතු බවට චෝදනා කරන පෙත්සම්කරු, මේ දක්වා මෙම අනතුර පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් සිදුකර නොමැති බවද පෙන්වා දී ඇත.
ඒ අනුව, මෙම ක්‍රියාවලිය තුළින් සිය පුත්‍රයාගේ මෙන්ම තමන්ගේද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අනතුරට පත් සිසුන්ට වන්දි ලබාදීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
