පඬුකරඳ ගස නිසා රජයට පාඩුවක් සිදුවේ නම් මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ

පරිසරවේදීන්ගෙන් ගම්පහ දාරළුවේ තිබු පඬුකරඳ ගස ගැලවීමට එල්ල වූ විරෝධතාවය මත මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ප්‍රමාදවීමෙන් රජයට පාඩුවක් සිදුවී ඇත්නම්, මාර්ග සංවර්ධන අධිකාරිය එම වැරැද්ද සම්පූර්ණයෙන්ම භාරගත යුතු බවත්, මෙහි සැබෑ වරද ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකසන ලද ‘පරිසර තක්සේරු වාර්තාවේ’ (EIA) මෙම ගස හඳුනාගෙන නොතිබීම නිසා බවත්, පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ නීතිවේදී රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසයි.

එම නිසා මධ්‍යම අධිවේගී මාර්ගයට සකසන ලද මාර්ග සංවර්ධන අධිකාරියේ පරිසර තක්සේරු වාර්තාව සදොස් වාර්තාවක් බවද පවසන නීතිඥ දාබරේ මහතා යම් ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ඇත්නම් එහි සම්පූර්ණ වරද මාර්ග සංවර්ධන අධිකාරිය භාරගත යුතු බව හා යම් ව්‍යාපෘතියක් සිදුකිරීමේදී එම රටට අදාළ නීත්‍යානුකූල අර්බුදයක් හටගන්නේ නම් එය විසඳා ගැනීමේදී සිදුවන ප්‍රමාදයට ප්‍රමාද ගාස්තුවක් ඉල්ලා සිටීමට අදාළ සමාගමට ද අයිතියක් නැති බව ද කියා සිටීයි.

අදාළ කටයුත්තේදී නීත්‍යානුකූලව කටයුතු කළ නිලධාරීන්ට වැරැද්ද නොපටවා, වැරදි කළ නිලධාරීන්ට උපරිමයෙන් දඬුවම් ලබාදිය යුතු බවත්, තවමත් නීතියෙන් ආරක්ෂිත ශාකයක් වන මෙම පඬුකරඳ ගස තමා විසින් තිබුණු තැනක්වත් හොයාගන්නට නොහැකි ලෙස ගලවා අතුරුදන් කළ බවට කවුරුන් හෝ පිළිගන්නේ නම් වනජීවී ආඥා පනත ප්‍රකාරව ඔහුට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කළ හැකි බවත් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පඬුකරඳ ගස නිසා සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් චීන ඉදිකිරීම් සමාගම රුපියල් මිලියන 880ක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවට පළවන පුවතක් පිළිබඳව ‘දිවයින’ කළ විමසීමට පිළිතුරු වශයෙනි.

ස්වාධීන උද්භිද විද්‍යාඥ ආචාර්ය හිමේෂ් ජයසිංහ මහතා විසින් මෙම ගස ආරක්ෂිත ශාකයක් ලෙස හඳුනාගැනීමෙන් පසු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඒ බව මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී තිබුණු අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙස එම අවස්ථාවේම ලිඛිතව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා තිබුණත් ඔවුන් ඊට නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පසුව ජනතා විරෝධයක් එල්ල වී තිබිණි.

සටහන ජගත් කණහැරආරච්චි

උපුටා ගැනීම දිවයින

Social Sharing
අවකාශය පුවත්