
දැනට බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබද 300% කට වඩා වැඩි නිසා එම තදබදය අවම කරගැනීම සදහා සුදුසු රජයේ ගොඩනැගිලි කිහිපයක් ලබාගෙන ඒවායේ රැඳවියන් නතර කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට දැනට බන්ධනාගාර රැඳවියන් 37000ක ගෙන් 27000ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවී මත බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද්‍රානී කිරිඇල්ල අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය. තවද දුම්බර බන්ධනාගාරයේ ප්‍රශ්නයක් යොමු කරමින් ඇය විමසා සිටියේ ඇතැම් බන්ධනාගාරවල තදබදය 500% ඉක්මවා ඇති බවයි.
ඇප මුදල් සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව විශාල රැඳවියන් පිරිසක් බන්ධනාගාරවල රැඳි සිටින බවත් එක් රැඳවියෙකු වෙනුවෙන් දිනකට රජය රුපියල් 1000ක් වියදම් කරන නිසා එම රැඳවියන්ට ඇප ලබාදීමට හෝ නිදහස් කිරීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීම වඩා වැදගත් බවද මන්ත්‍රිවරිය විසින් එහිදී පෙන්වා දීය.
මෙවැනි රැඳවියන් නිදහස් කරගැනීම සඳහා දකුණු අප්‍රිකාව වැනි ඇතැම් රටවල ඇප මුදල් අරමුදලක් ආරම්භ කර තිබෙන බවද මන්ත්‍රිවරිය සදහන් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ ඒ ආකාරයට ඇප හා දඩ මුදල් පමණක් ගෙව්වත් තදබදයේ අඩුවීමක් නොවන බවත් ඒ සඳහා රස පරීක්ෂක වාර්තාද අත්‍යවශ්‍ය වී තිබෙන බවයි.
එම රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අළුතින් රස පරීක්ෂකවරු 50 දෙනෙකු බඳවාගැනීමට අනුමැතිය ලබාගත් බවත් තවත් රස පරීක්ෂකවරුන් 32 දෙදෙනෙකු බඳවාගැනීමට අනුමැතිය ඉල්ලා ඇති බවත් මාස 3ක් ඇතුළත පමාවී ඇති රස පරීක්ෂක වාර්තා කඩිනම්න් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
