“අපේ බල ප්‍රදේශය නොවේ” කියා පොලිසියට ඔබේ පැමිණිල්ල මගහැරිය හැකිද?

ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප ඕනෑම අයෙකුට ජීවිතයේ යම් අවස්ථාවකදී පොලිස් ස්ථානයක් වෙත යාමට සිදු විය හැකිය. ඒ අපට සිදුවූ අසාධාරණයක්, අපරාධයක් හෝ අලාභයක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහාය. එහෙත්, මහත් බලාපොරොත්තු ඇතිව පොලිසියට යන අහිංසක මහජනතාවට බොහෝ විට මුහුණ දීමට සිදුවන්නේ කටුක අත්දැකීමකට බව රහසක් නොවේ. “මේක අපේ පොලිස් වසමට අයිති නෑ, අහවල් පොලිසියට යන්න”, “මේක සිවිල් ප්‍රශ්නයක්, අපිට පැමිණිලි ගන්න බැහැ” වැනි නොයෙකුත් නිදහසට කරුණු කියමින් පැමිණිලි භාර නොගෙන මහජනතාව හරවා යැවීමේ සංස්කෘතියක් කලක පටන් අප රටේ දක්නට ලැබුණි.

නමුත්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදු වෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ හමුවේ මෙම අත්තනෝමතික ක්‍රියාපටිපාටියට එරෙහිව වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉතා ප්‍රබල සහ සාධනීය තීරණයක් ගෙන තිබේ. මෙම ලිපිය ඒ පිළිබඳව ඔබව නීතිමය වශයෙන් සන්නද්ධ කිරීම උදෙසායි.
පසුගිය වර්ෂයේ නිකුත් කරන ලද චක්‍රලේඛය හරහා පොලිස්පතිවරයා ඉතා පැහැදිලිව අවධාරණය කර ඇත්තේ, පොලිස් ස්ථානයක් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණෙන කිසිදු පාර්ශ්වයක පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පොලිස් නිලධාරීන්ට කිසිදු හැකියාවක් නොමැති බවයි. යම් හෙයකින් එසේ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වුවහොත්, ඊට වගකිව යුතු නිලධාරියාට පමණක් නොව, එම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට (HQI) හෝ ස්ථානාධිපතිවරයාට (OIC) එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම චක්‍රලේඛයේ සඳහන් වේ. මෙය හුදෙක් අවවාද කිරීමක් නොව, පොලිස් ආඥා පනතේ 82 (අ) වගන්තිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවා ප්‍රතිපාදන ඇති බරපතල කාරණයක් බව උසස් පොලිස් නිලධාරීන් සියලු දෙනා වෙත දැනුම් දී ඇත.

බොහෝ විට පොලිස් නිලධාරීන් පැමිණිලි මගහැරීම සඳහා පොදු හේතු කිහිපයක් ඉදිරිපත් කිරීමට පෙළඹී සිටී. “මෙය සිවිල් ආරවුලක් බැවින් පැමිණිලි සටහන් කළ නොහැකි බව,” “අපරාධය සිදුවී ඇත්තේ අපේ පොලිස් බල ප්‍රදේශයේ නොවේ,” “වගකිව යුතු අය පොලිසියට ගෙන්වන්න අපිට බලයක් නැහැ,” “පැමිණිලිකරු හෝ විත්තිකරු අපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවේ,” වැනි කරුණු ඒ අතර ප්‍රධාන වේ. ඇතැම් විට ඉහළ නිලධාරීන්ගේ නියෝග මත යැයි පවසමින් පැමිණිලි ප්‍රතික්ෂේප කරන අවස්ථා ද වාර්තා වී ඇත. එහෙත් නව නියෝගය මගින් මෙම සියලු නිදහසට කරුණු අභියෝගයට ලක් කර ඇති අතර, මෙවැනි හේතු මත පැමිණිලි පැහැර හැරීම නීති විරෝධී බව පෙන්වා දී තිබේ.

මෙහිදී පුරවැසියන් ලෙස අප දැනුවත් විය යුතු වැදගත්ම නීතිමය ප්‍රතිපාදනය වන්නේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 වගන්තියයි. මෙම වගන්තිය මගින් වරදක් පිළිබඳ තොරතුරු ලබා දීම සහ ඒවා සටහන් කරගැනීම පිළිබඳ කාර්ය පටිපාටිය ඉතා පැහැදිලිව දක්වා ඇත. 109 (1) උප වගන්තියට අනුව, වරදක් සිදු කිරීම පිළිබඳ ඕනෑම තොරතුරක් පොලිස් නිලධාරියෙකු වෙත වාචිකව හෝ ලිඛිතව ලබා දිය හැකිය. එසේ ලබා දෙන තොරතුරක්, 109 (3) උප වගන්තිය ප්‍රකාරව, ප්‍රමාදයකින් තොරව පොලිස් තොරතුරු සටහන් පොතේ (Information Book) ඇතුළත් කිරීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම, තොරතුර ලැබෙන නිලධාරියා ස්ථානාධිපතිවරයා නොවුණත්, එම තොරතුර වහාම ස්ථානාධිපතිවරයා වෙත වාර්තා කිරීම අදාළ නිලධාරියාගේ වගකීම බව නීතියේ සඳහන් වේ. එබැවින් “පොලිස් බල ප්‍රදේශය” යන කඩතුරාවට මුවා වී පැමිණිල්ලක් සටහන් කර නොගෙන සිටීමට කිසිදු පොලිස් නිලධාරියෙකුට නීතිමය අයිතියක් නැත.

තවද, පොලිස් නිලධාරියෙකුගේ මූලික වගකීම වන්නේ අපරාධයක් සිදු වූ පසු එය සටහන් කර ගැනීම පමණක් නොවේ. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 107 (1) වගන්තිය මගින් පෙන්වා දෙන්නේ, යම් සංඥය වරදක් (Cognizable Offense) සිදු කිරීම වැළැක්වීම සඳහා ඕනෑම සාම නිලධාරියෙකු මැදිහත් වී ක්‍රියා කළ යුතු බවයි. තමාගේ උපරිම හැකියාව යොදවා අපරාධ වැළැක්වීම ඔවුන්ගේ වගකීමකි. යම් පුද්ගලයෙක් තමන්ට සිදුවන හිරිහැරයක් ගැන පැමිණිලි කිරීමට පැමිණි විට, එය තමන්ගේ බල ප්‍රදේශයට අදාළ නැතැයි කියා හරවා යැවීම, මෙම වගන්තිය මගින් පැවරී ඇති “අපරාධ වැළැක්වීමේ” වගකීම පැහැර හැරීමකි.

මෙයට අමතරව පොලිස් ආඥා පනතේ 56 වගන්තිය ද අප මෙහිදී අමතක නොකළ යුතුය. එම වගන්තියට අනුව සියලුම අපරාධ, වැරදි සහ පොදු හිරිහැර වැළැක්වීමට තමාගේ සම්පූර්ණ ධෛර්යය හා ශක්තිය යෙදවීමත්, සාමය ආරක්ෂා කිරීමත්, පොදු සාමය සම්බන්ධ තොරතුරු රැස් කිරීමත් පොලිස් නිලධාරියාගේ පරම යුතුකමකි.  එසේ තිබියදී, තාක්ෂණික කරුණු මත පදනම්ව පැමිණිලි ප්‍රතික්ෂේප කිරීම යනු පොලිස් නිලධාරියා තමා සතු මූලික යුතුකම් සහ වගකීම් උල්ලංඝනය කිරීමකි. නව චක්‍රලේඛය මගින් නැවත මතක් කර දී ඇත්තේ මෙම නීතිමය බැඳීමයි.

මෙම ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීම සඳහා අතීතයේ නිකුත් කරන ලද චක්‍රලේඛ කිහිපයක් පිළිබඳව ද පොලිස්පතිවරයා අවධානය යොමු කරවා ඇත. ඒ අනුව 2002.10.14 දිනැති අංක 1667/2002 චක්‍රලේඛය, 2007.09.07 දිනැති අංක 2020/2007 චක්‍රලේඛය සහ 2024 වර්ෂයේ නිකුත් කළ (2024.10.29) CRTM 744 පණිවුඩය (1997 කෙටි දුරකථන අංකය සම්බන්ධව) මගින් ද පැමිණිලි භාරගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

අවසාන වශයෙන් කිව යුත්තේ, ඔබ කුමන ප්‍රදේශයක සිටියත්, කුමන පොලිස් ස්ථානයකට ගියත්, ඔබේ පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලිසිය බැඳී සිටින බවයි.  යම් හෙයකින් පොලිස් නිලධාරියෙකු ඔබේ පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය ඉහත සඳහන් කළ නීති සහ නව පොලිස්පති චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් බව සිහි තබා ගන්න. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වූ රටක් ගොඩනැගීමට නම්, පොලිසිය මහජනතාවට වගකිව යුතු ආයතනයක් බවට පත්වීම අත්‍යවශ්‍ය වන අතර, මෙම නව ක්‍රියාමාර්ගය ඒ සඳහා තැබූ යෝධ පියවරක් ලෙස හැඳින්විය හැකිය.

සටහන නීතිඥ නාලින්ද දිසානායක

උපුටා ගැනීම Law Guidance ෆේස් බුක් පිටුවෙනි.

Social Sharing
පුවත්