ඉරානේ අයතොල්ලා අලි කුමේනේ පාලනයට අවසානයක්ද?

ඉරානේ අයතොල්ලා අලි කුමේනේ (Supreme Leader Ayatollah Ali Khamenei) ගේ පාලනය බිදවැටීමට නියමිතය. අලි කුමේනිලා 1979 ගෙනා වසර 40 ක් පැරණි ඉරාන ‘ඉස්ලාමීය විප්ලවය’ (the Iranian Islamic Revolution) දැන් ආපසු හැරවීමට නියමිතව ඇත. ඉරාන රෙජීමය දශක ගණනාවකට පසු මුහුණ දුන් දැවැන්තම මහජන විරෝධය දැන් එරට වීදී බැස තිබේ. ජනතාව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් සිටී. ඉරානයේ රාජ්‍ය පාලන පද්ධතියේ අසාර්ථකම කාලපරිච්ඡේදය දැන් උදාවෙමින් තිබේ. අසමත් රාජ්‍යය පාලනයක අවසානය කැදවන්නේ මර්ධනය පමණි. දැන් ඉරානයේ එය කළඑලිබැස තිබේ. ඉවරයක් නැති වෙඩිතැබීම්, වදහිංසා පැමිණවීම් දරුණු අන්තයකට ලගාවෙමින් තිබේ. දැනටමත් 116 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර තිබේ. ඒ නිල සංඛ්‍යා ලේඛණවලට අනුවය. ඇත්ත සංඛ්‍යාවන් ගැන කිසිවෙකුට තවමත් නිෂ්චිත අදහසක් නොමැත.
ඉරානයේ නගර ගණනාවක පුළුල්ව පැතිර ගොස් ඇති විරෝධතා දිනෙන් දින ප‍්‍රබල වෙමින් පවතී. දැන් සිදුවන විරෝධතා ආරම්භ වූයේ ඉරාන මුදලේ වටිනාකම කඩා වැටීම අරභයා වුවද එය ඉරන අර්බුදයේ එක් මලපුඩුවක් පමණි.
රටක ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක පමණක් නොව රටේ මතවාදීමය ගොඩනැන්මේ ද අර්බුදයකි. කලින් සෝවියට් රුසියාව පෙන්නුම් කළ එකී සත්‍යය දැන් ඉරානය තුලින් ද යලි යලිත් පෙන්නුම් කරමින් සිටී.
සෝවියට් දේශයේ ආර්ථික අර්බුදය එරට දේශපාලන අර්බුදයේ අර්බුදයක් පමණක් නොව සෝවියට් දේශයේ මතවාදීමය ගොඩනැන්මේ ද අර්බුදයක් විය. 1991 දෙසැම්බර් 26 සෝවියට් දේශය බිදවැටෙන විට පෙන්නුම් කළ එම ක්‍රියා පටිපාටිය දැන් ඉරානයේ ද සක්‍රියය. ඉරාන ආර්ථික අර්බුදය ද එරට දේශපාලන අර්බුදයේ පමණක් නොව කුමේනේ ලාගේ ඉරාන ඉස්ලාමීය විප්ලවය ඉරානයේ තහවුරු කළ ඉස්ලාමීය මතවාදී අධිපත්‍යය බිදවැටීමේ ද ප්‍රකාශණයකි.
ඉස්ලාමීය කාන්තා හිස් පලදනා ඉරාන කාන්තාවන් විසින් විසිකර දැමීමේ සිට අයතොල්ලා අලි කුමේනේ (Supreme Leader Ayatollah Ali Khamenei) ගේ ජයාරූප ගිනිතැබීම ද, එයින්ද නොනැවතී ඉස්ලාමීය දේවස්ථාන ගිනිතැබීම දක්වා වූ ප්‍රවනතා තුලින්ද පෙන්නුම් කරන්නේ ඉරාන ඉස්ලාමීය විප්ලවය ඉරානය තුල ස්ථාපිත කළ ඉරාන රැඩිකල් ඉස්ලාමීය මතවාදය ද ඉරානය තුල පරාජය වෙමින් යන බවය.
ඔවුන්ගේ 86 හැවිරිදි උත්තරීතර නායකයා වන අලි කුමේනේට, ඔහුගේ ආණ්ඩුවට හා ඔහුගේ පවුල්වල අයට මෙන්ම සමීප සහචරයන්ට ද දැන් ඉතිරිව ඇති විකල්පවලින් අවසාන විකල්පය වී ඇත්තේ ඉරානයෙන් පලායෑමය. ඔවුන්ට එසේ පලායෑමට ඇත්තේ ද රැසියාවට පමණි. ගිය වසරේ (2025) අවසාන දින කිහිපයේදී ඉරානයේ පුවත් වාර්තාකරුවන් අතර සාකච්ඡාවට ලක්වු තොරතුරකින් කියවුනේ අයතොල්ලා අලි කුමේනේ පලා යෑමට සැලසුම් කර ඇති බවයි. කුමේනේ, ඔහුගේ පවුලේ අය හා 20කට ආසන්න පිරිසකට රැසියාවේ මොස්කවල කිසියම් හවුහරණක් ඇති ස්ථානයක් සැලසුම් කර ඇතැයි මේ වසරේ (2026) ජනවාරි මුලදී ප්‍රකාශ වූ බුද්ධි වාර්තා අනුව ද කියවුනි. ඔහුගේ පුතා හා ඉදිරි නායකත්ව අපේක්ෂකයා ලෙස සැලකෙන මොජ්තාබා කුමේනේද (Mojtaba Khamenei) ද එකී රැසියානු ආරක්ෂාව අපේක්ෂා කරන පිරිස අතර වෙතැයි ඉන් කියවුනි. මෙම සැලැස්ම ක්‍රියාත්මක වන්නේ ඉරාන විප්ලවීය හමුදාවට (Iranian Revolutionary Guards – IRGC) හා එරට ආරක්ෂක බලකායන්ට හෝ හමුදාවට විරෝධතා පාලනය කිරීමට අසමත් වුවහොත් හෝ විදේශ හමුදා ප්‍රහාරයක් මගින් ඔවුන්ගේ බලය බිද දැමූවොත් පමණක් විය හැකිය.
මේ මොහොත වනවිට ද ඉරාන ඉස්ලාමීය රජය තවමත් බිඳ වැටී නොමැත. ඔවුහු බලය පවත්වා ගැනීම සඳහා කළ හැකි සියල්ලම කරණු ඇත. එහෙත් පැහැදිලිව අයතොල්ලා අලි කුමේනේ (Supreme Leader Ayatollah Ali Khamenei) ගේ පාලනය බිදවැටීමට නියමිතය. අලි කුමේනිලා 1979 ගෙනා, වසර 40 ක් පැරණි, ඉරාන ‘ඉස්ලාමීය විප්ලවය’ (the Iranian Islamic Revolution) දැන් ආපසු හැරවීමට නියමිතව ඇත.
මාකස් ප්රියන්ත පෙරේරාගේ ෆේස් බුක් පිටුවෙන් උපුටාගන්නා ලද්දකි
Social Sharing
පුවත්