බන්ධනාගාර භාරයේ සිටි සැකකරුවෙකුට නාගොඩ රෝහලේදී වෙඩි තැබීම: රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වේ!

නාගොඩ රෝහලේදී වෙඩි තැබීම

[කළුතර, දෙසැම්බර් 31] – රජයේ භාරයේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටින සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් නැවතත් ඉස්මතු කරමින්, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් සැකකරුවෙකුට දෙසැම්බර් 31 උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රිමාන්ඩ් භාරයේ සිටි නාරායනගේ දිලිප් චතුරංග නමැති කළුතර, රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වාර්තා වන අන්දමට මෙම සැකකරු උදෑසන 6:05 ට පමණ නාගොඩ රෝහලේ අංක 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, පිටතින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.

මෙහිදී මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් මතුවන බරපතලම කාරණය වන්නේ, අදාළ සැකකරු බන්ධනාගාර නිලධාරියෙකුගේ ආරක්ෂාව මැද සහ යකඩ විලංගු දමා (Shackled) සිටියදී මෙලෙස වෙඩිතැබීමට ලක්වීමයි. රජයේ අත්අඩංගුවේ පසුවන නිරායුධ සැකකරුවෙකුට, රජයේ රෝහලක් තුළදී මෙවැනි අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම බන්ධනාගාර ආරක්ෂක විධිවිධානවල බිඳ වැටීමක් ලෙස සැලකිය හැකිය.

තවද, මෙම සැකකරු රෝහල් ගත කර ඇත්තේ ද පසුගිය 29 වනදා කළුතර ජාවත්ත බන්ධනාගාරය තුළදී තවත් රැඳවියන් පිරිසකගේ පහර කෑමට ලක්වීමෙන් පසුව බව අනාවරණය වී තිබේ. බන්ධනාගාරය තුළදී පහර කෑමට ලක්වීම සහ ඉන්පසු රෝහලේදී වෙඩි තැබීමට ලක්වීම යන සිදුවීම් දාමය තුළින් පෙනී යන්නේ සැකකරුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා බන්ධනාගාර නියාමකවරයාට ද තර්ජනය කර රෝහල් තාප්පයෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ මැඩලීම අත්‍යවශ්‍ය කරුණක් වුවද, අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කර රජයේ භාරයේ පසුවන සැකකරුවෙකුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමකි. බන්ධනාගාර සහ රෝහල් තුළ මෙවැනි සිදුවීම් නැවත නැවතත් වාර්තා වීම නීතියේ ආධිපත්‍යයට එල්ල වන තර්ජනයකි.

Social Sharing
අවකාශය නවතම