‘කොළඹ මහනගර සභාව’ මෙතැනින් කොයිබටද?

කොළඹ මහනගර සභාව

විධිමත් ලෙස මහනගර සභාවක් ගොඩනංවන ලද ආසියාවේ තෙවැනි රාජ්‍යය ශ්‍රී ලංකාව. එහෙම හැදුව මහනගර සභාව තමයි කොළඹ මහනගර සභාව. ඒ 1865 දි. ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ 1947. එහෙම බැලුවම පළාත් සභා වැනි දෙවැනි ස්ථරයේ නියෝජනයක් නොතිබුණු එකල මහනගර සභාව කියන්නෙ එකල ලංකාවේ (CEYLON) සාඩම්බරය. කොළඹට පෙර ආසියාවේ මහනගර සභා හැදුවේ මදුරාසිය (1688) සහ සිංගප්පුරුව (1856) කියන නගරවල පමණයි. ඒ නිසා එදත් අදත් කොළඹ මහනගර සභාව ප්‍රෞඩ පාලනයක සංකේතයක් වගේම බල දේශපාලනයේ පිළිඹිඹුවක්.

දැන් ඒ ගැන යළිත් කතාකරන්න පටන් අරගෙන. ඊයේ දිනයේදී (2025 දෙසැම්බර් 22) පාලක කණ්ඩායම මහනගර සභා අයවැය පැරදුනා. දැන් මොකද වෙන්නෙ. ඇත්තටම මොකවත්ම වෙන්නෙ නැහැ. හැබැයි නොවෙන්නෙත් නැහැ. සරලවම මෙහෙමයි.

සිදුවිය හැකි දේ තමයි, ආසන්නයේ පැවැත්වීමට නියමිත මැතිවරණයකදී ජාතික ජනබලවේගයේ ජනප්‍රසාදය අවම වී පරාජයේ අඳුරු සෙවනැළි වැටීම. ඒ අඳුරු අගාධය වෙත මෙවැනි බිඳවැටීම් හේතුවිය හැකියි. ප්‍රතිපක්‍ෂ පාර්ශව වෙත කරුණාව හා දයාව දක්වන සම්ප්‍රදායික වගේම සමාජ මාධ්‍ය ඒ වෙනුවෙන් ඔවුන්ගේ උපරිමය සිදුකරනවා ඇති. සිදු නොවිය හැකි දේ තමයි කෙතරම් පරාජයකට ලක්වුනත් කිසිදු සභාවක් වසර දෙකක් යන තෙක් බිඳ දමන්න බැරිවීම. එබැවින් අපේ මිතුරියක්ද වන ව්රායි බලතසාර් මහත්මිය කරන්න ඕන දේ තමයි භාවතිෂය නොවී පනත් ප්‍රකාරව අදාළ කාර්යයන් ඉදිරියට කරගෙන යාම.

කවුරුහරි කියන්න පුළුවන් අයියෝ මෙහෙම පැරදිලත් මොකද ප්‍රතිපාර්ශවයන්ට බලයට එන්න බැරි කියල. ඇත්තටම ඒ ගැන අහන්න ඕන බැසිල් රාජපක්ෂ මහත්මාගෙන්. එතුමන් වසර 2008 සිට පළාත් පාලන නීතිය වෙනස් කරන්න උත්සහ කළා වගේම වෙනස් කළා (මේ ලියන මොහොතේ 2008 සංශෝධන පනත් කෙටුම්පත මා සතුව තිබෙනවා) පළමු අවස්ථාවේදී අයවැය පළමු අවස්ථාවේම පරාජය වූ කල සභාපතිවරයා ඉවත්විය යුතුය යන ප්‍රතිපාදනය ප්‍රායෝගික තලයේදී ගැටළුවක් වුනා. අන්තිමේදී පළාත් පාලන ආයතන සභිකයන් තුට්ටු දෙකේ අල්ලසට සභා පෙරළන්න ගත්ත. මේ නිසා නැවත සංශෝධනයක් ගෙනාව. මේ සංශෝධනය තමයි අදට වැදගත්. 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධි විධාන) පනතේ 07 සහ 12 වගේ වගන්ති කියවන්න. මේ පසුබිම හොඳින් වටහ ගන්න පුළුවන්.

කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සෑම පළාත් පාලන ආයතනයකටම පොදු නීතිය තමයි පළමුවර අයවැය ජන්ද විමසීමෙන් පරාජයට පත්වුනොත් අදාළ ප්‍රධානියාට පුළුවන් දෙවැනි වරත් අදාළ අයවැය ප්‍රකාශය නැවත ඉදිරිපත් කරන්න. අවශ්‍යනම් සංශෝධන සහිතව වුනත් පුළුවන්. සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕන. එතනදිත් පරාජය වුනොත් මොකද වෙන්නේ. ආයතන ප්‍රධානියට පුළුවන් (කොළඹ මහනගර සභාවේ නම් පුරපතිවරිය) තමන්ගේ ස්වකීය අනුමැතියෙන් එය ඉදිරියට ගෙනියන්න. සභාවේ මූලික සහ කේන්ද්‍රීය මූල්‍ය සැළසුම මේ. එමනිසා ඉදිරි මාස 12 ක කාලය තුළ කවර බාධා පැමිණියත් ඒවා එතරම් වලංගු වෙන්නෙ නැහැ.

ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2027ට අදාළ අයවැය ලබන අවුරුද්දේ දෙසැම්බර් වලදී ජාතික ජනබලවේගය පැරදුනත් වෙන්නේ ඔය දේම තමයි. වෙනසක් නැහැ. හැබැයි ඒ දේම වුනොත් 2027 දෙසැම්බර් වලදී මොකද වෙන්නේ. ඔන්න අවස්ථාවක් එනවා ප්‍රතිපාර්ශව වෙත බලය උරගා බලන්න. මේක සරලව කියනවනම් අවුරුදු දෙකක් අතුරුආන්තරාවක් නැතිව කොළඹ සහ අනෙක් තැන් වලට දැනටමත් පත්වෙච්ච ආයතන ප්‍රධානීන්ට පුළුවන් ඉදිරියට යන්න.

දැන් තේරුම් යන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඇයි මෙච්චර අමාරුවෙන් ජාතික ජනබලවේගය ආයතන ප්‍රධානීන් ටික පත්කර ගත්තේ කියල. නිදසුනක් ලෙස ජීවන් තොන්ඩමන් පාර්ශවය එක්ක එකතු වෙයි කියල කවුද හිතුවේ. දැන් ජීවන් වෙන් වෙන්න හදනවා. හැබැයි වැඩක් නැහැ. ප්‍රධානියා පත්කරන්න සහය දුන්න කියන්නේ අවුරුදු දෙකක් කොන්දේසි විරහිත සමාවක් දුන්න වගේ වැඩක්.

තව කතාවක් යනව නේද දැන් ඉතිං කොළඹ මහනගර සභාවේ පුරපතිවරිය දෝෂාභියෝගයකින් එලවන්න පුළුවන් කියල. මේ ගැන දන්නා නීති විශාරදයන්ගේ අනාගත කියවීම් හමුවේ මගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න බලාගෙනයි මම මේ ලියන්නේ. එහෙම නීතියක් දැන් නැහැ. ඉන්න කෙනා ගෙදර යවන්න ක්‍රම හතරයි තියෙන්නෙ. පළමුවැන්න තමයි ප්‍රධානියා මියයන්න ඕන. දෙවැන්න කුමක් හෝ කරුණක් නිසා ඉල්ලා අස්වෙන්න ඕන. තෙවැන්න අක්‍රමිකතාවක් නිසා ප්‍රධාන ඇමති පත්කරන ස්වාධීන විමර්ශන කමිටුවක් හමුවේ වැරදිකරුවෙක් වෙලා සභාවෙන් නෙරපන්න ඕන. දැන් එහෙම කරනවානම් කරන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුකාරවරයා මඟින් . සිව්වැන්න දේශපාලන පක්‍ෂයේ විනය විරෝධී චෝදනාවකට හසුවෙන්න ඕන. ඔය ක්‍රම හතරෙන් එහාට යන්න නම් අමාරු බව තමයි මගේ මතය.

ඔය අවසන් කරුණ සමඟි ජන බලවේගය මෙවර අත්හදා බල තියෙනවා. ඒ අය තමන්ගේ සභිකයන්ට ලිපියක් යවල තිබුන. ඒකෙ කියන්නේ අයවැය දවසට අනිවාර්යයෙන්ම සභාවට එන්න. සහ විරුද්ධව ජන්දය දෙන්න. මේ වෙලාවේ අයවැයට පක්‍ෂ වුනොත් සමඟි ජන බලවේගයේ ලිපිය ප්‍රකාරව තමන්ගේ සභික ධූරය අහිමිවෙනවා. ඒ නිසා තමයි ඔය එක දිගට ජාතික ජනබලවේගයට මෙතෙක් ලැබුණු සහය නැතිවේගෙන යන්නේ. ඒ ලිපිය අනාගත විනය විරෝධී පරික්ෂණයක ආරම්භක පියවර. අමතක කරන්න එපා . (ලංකාවේ දේශපාලන පක්‍ෂයක ලේකම්වරයාට රුසියාවේ සාර්ටත් වඩා බලයක් තිබෙනවා).

දැන් කාටහරි අහන්න පුළුවන් එතකොට පළාත් පාලන ආයතනවල යෝජනා බලන්න ඕන නැද්ද කියල. පිස්සුද ? ලංකාවේ කිසිම දේශපාලන පක්‍ෂයක් දැනට ජනතාව නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා මිතුරිය රායි හර්දය සාක්‍ෂිය ගැන ඉමෝෂනල් කතා කියන්න එපා. බල දේශපාලනය සහ විකුර්ති ලිබරල් දහමක් හමුවේ යථාර්තයට මුහුණ දෙන්න.

-මංජුල ගජනායක-

Social Sharing
අවකාශය නවතම