
ශ්‍රියා තම පුතාට තිබෙන ආදරය නිසා තමන් මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවක් කර ඉතිරි කළ මුදලින් මිලදී ගත් ඉඩම තම පුතාට තෑගි ඔප්පුවකින් සින්නක්කරව ලියා දුන්නා. පුතා විවාපත් වූ පසු, ශ්‍රියාත්, ලේලිත් අතර මත ගැටුමක් ඇති වුණා.එහිදී පුතා තම බිරිඳගේ පැත්ත අරගෙන අම්මාට ගෙදරින් පිටව යන ලෙස අණ කළා. ඇයට යන්නට තැනක් නැති බව දැන දැනත්, ගේ මගේ නිසා වහා පිට වී යන ලෙස බල කළා. ශ්‍රියා මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයකට ආවේ මෙයට පිළිසරණක් පතාගෙනයි. එවැනි අවස්ථාවකදී කටයුතු කිරීමට දිය හැකි උපදෙස පිළිබඳ මංජුල කරුණාරත්න මැතිතුමා ලියූ “සිවිල් හා අපරාධ නීතියෙහි ප්‍රායෝගික පැතිකඩ” කියන පොතේ 310 පිටුවෙහි මෙසේ විස්තර කරනවා.
අවලංගු කළ නොහැකි ලෙස ලියන ලද ත්‍යාග ඔප්පුවක් අවලංගු කරලීම (Revocation of irrevocable Deeds of Gift) සම්බන්ධයෙන් වන නෛතික ප්‍රතිපාදන.
මේ සම්බන්ධයෙන් වන නෛතික ප්‍රතිපාදන 2017 අංක 5 දරණ පනතෙහි විස්තර වන අතර ඒ යටතේ බලවත් අකෘතඥතාවය (Gross Ingratitude) මත පදනම්ව එවැනි නැවත අවලංගු කළ නොහැකි ලෙස ලියන ලද ත්‍යාග ඔප්පුවක්, අධිකරණමය ක්‍රියා මාර්ගයක් යටතේ පහත සඳහන් පරිදි අවලංගු කරලීමට පියවර ගත හැක.
ඒ යටතේ වන වැදගත් කරුණු.
(01) බලවත් අකෘතඥතාවයට අදාළ වන කරුණු දිසා අධිකරණය හමුවේ සාක්ෂි සහිතව ඔප්පු කරනු ලැබිය යුතුය.
(02) ඔප්පුව ලියා සහතික කර වර්ෂ දහයක් (10) ඇතුළත අදාළ නඩුව පැවරිය යුතු වන අතරම, නඩු නිමිත්ත ඇති වී වර්ෂ දෙකක් (02) ඇතුළත එකී නඩුව පැවරිය යුතුය.
ඒ අනුව කරුණු සලකා බැලීමේදී, අදාළ ත්‍යාග ඔප්පුව ලියා වර්ෂ 10 ක කාලයක් ගත වීමෙන් පසුව හෝ නඩු නිමිත්ත ඇති වූ බවට සඳහන් දිනයේ සිට වර්ෂ දෙකක් ඇතුළත අදාළ නඩුකරය පැවරීම සිදුව නොමැති වී නම්, ඉහත කී පනතේ තුන්වන (03) වගන්තිය ප්‍රකාරව අදාළ නඩුකරය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතුවේ.
උදාහරණ වශයෙන් කරුණු සලකා බලන කල ඉහත කී ත්‍යාග ඔප්පුව ලියා අවුරුදු දහයක් ඇතුළත නඩුකරය පවරන ලද්දේ වුවද, සාක්ෂි යටතේ ඉහත කී බලවත් අකෘතඥතාවයට අදාළව වන කරුණු යටතේ වන නඩු නිමිත්ත (cause of action) ස්ථාපිත වී අවුරුදු දෙකක කාල පමාවකින් පසුව ඉහත කී නඩුකරය පවරනු ලැබ ඇත්නම්, ඒ මත ද අදාළ නඩුකරය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ යුතුව පවතී.
