රංවල අපි මුල ඉඳන් පටන්ගමු!

රංවල

– මහේෂ් හපුගොඩ –

මට තේරෙන්නේ නැහැ මේ රංවල ප්‍රශ්නේ නවතින්නේ කවද්ද කියල. ආචාර්ය උපාධි ප්‍රශ්නේ වගේම මේ රිය අනතුරේ ප්‍රශ්නෙත් දැන් දවස්ගානක් අල්ලාගෙන යනවා. ඉවරයක් නැහැ.

අනික් අතට මට හිතෙන්නේ මේක රංවල මහත්තය විසින්ම අවසන් කරගන්න තිබ්බ දෙයක් කියල. ආචාර්ය උපාධි ප්‍රශ්නේ වගේම රිය අනතුරේ ප්‍රශ්නෙත් තමන් විසින්ම විසඳාගන්න තිබ්බේ. කාටවත් මැදිහත් වෙන්න දෙන්නේ නැතුව. ජාතික ප්‍රශ්නයක් කරගන්නෙත් නැතුව.

රංවල මේ ප්‍රශ්නවලට අදාල මූලික දේ කරන්නේ නැහැ. ඒ තමයි තමන් පුද්ගලයෙක් හැටියට තමන්ගේ කාර්යය නොකිරීම.

ආචාර්ය උපාධි ප්‍රශ්නේ වෙලාවේ කතානායක පුටුවේ වාඩිවෙලා පළවෙනියෙන් කියන්න තිබ්බ දේ තමයි. මේ ඕයි…මට ඇති ආචාර්ය උපාධියක් නැහැ. තිබ්බත් මට ඒක වැඩක් නැහැ. වැඩක් තිබ්බත් ඒක මේකට වැඩක් නැහැ. මේක වෙන වැඩක්. මට දේශපාලනේ කරන්න, මිනිස්සු එක්ක වැඩකරන්න ආචාර්ය උපාධි ඕනි නැහැ. කරුණාකරලා මට රංවල කියල කියපල්ලා. මේ වැඩේට ඒක ඇති කියල.

ඔය දේ හරියටම ලාල්කාන්ත කළා. ආයේ කිසිම කෙනෙක් කිසිම දෙයක් කවදාවත් ලාල්ගෙන් ඇහුවේ නැහැ. ආයේ අහන්න දෙයක් පොර ඉතුරුකළේ නැහැ.

රංවල උන්නැහේ ප්‍රශ්නේ ආපු වෙලේ ඉඳන් කිසිදෙයක් කරන්නේ නැතුව ඔහේ තාවරවෙවී ඉන්නගත්ත. ඒකෙන් ප්‍රශ්නේ ඇවිලිලා ගියා. අන්තිමට කතානායකකමත් නැතිවෙලා ගියා.

මූලික දේ කළේ නැහැ. ඒ කියන්නේ එයා බේසික් (basic) වරද්දාගන්නවා. ඉන් පස්සේ ඔක්කොම වරදිනවා.

දැන් බැලුම් පිම්බීමේ වැඩේදීත් තිබ්බේ ඒක මුලින් කරන්න. හරි ඇක්සිඩන්ට් උනා. රෝහල්ගත කළා. එයාගේම ඩ්‍රයිවර් කියනවා එයා කවදාවත් බොන්නෙත් නැහැ. මස් මාළුවත් කන්නෙත් නැහැ කියල. අර නුවර එක්කෙනත් කියනවා එයා හොඳ මනුස්සයෙක් කියල. අපි කවුරුවත් එයා හොඳයි හෝ නරකයි කිව්වට වැඩක් නැහැ. එයා එයාගේ වැඩේ කරන්නේ නැත්නම්.

හරි ඒ වෙලාවේ වෙරි බලන බැළුම් තිබ්බේ නැත්නම් පොරට තිබ්බේ ලංකාවේ කොහෙන් හරි ඔය බැලුමක් හොයාගෙන ඇවිත් මේක මට පුම්බන්න දීලා මාව නිවැරදි කරගන්න මට අවස්ථාවක් දෙන්න කියන එක. බලෙන් හරි…කොළඹ කිට්ටුව පොලිසිවල බේතකටවත් බැලුමක් නැත්තේ නැහැනේ.

මම කියන්නේ රංවල රංවල නම් ඇත්ත පුද්ගලයා ලෙස මේ ප්‍රශ්නවලට එයාම මැදිහත් වෙනකල් පොරගේ ජීවිතේ අවුල් ජාලාවක් වෙයි කියල. පක්ෂේ මොනවා කිව්වත්, යාලුවෝ මොනවා කිව්වත්, පොලිසිය මොනවා කිව්වත්, චන්දදායකයෝ මොනවා කිව්වත්, ඩ්‍රයිවර් මොනවා කිව්වත්, පවුලේ අය මොනවා කිව්වත්, නුවර එක්කෙනා මොනවා කිව්වත් වැඩක් නැහැ රංවල එයාගේ බේසික් දේවල් ටික කරන්නේ නැත්නම්….

ඒ නිසා රංවල මහත්තය…අපි ආයේ මුලඉඳන් (බේසික්වල ඉඳන්) පටන්ගමු.

Social Sharing
අවකාශය නවතම