දයා පතිරණ හා ජවිපෙ

දයා පතිරණ ඝාතනය

– අජිත් පැරකුම් ජයසිංහ

දයා පතිරණ ඝාතනය වෙලාවෙ මං කලුතර දිස්ත්‍රික්කෙ ශිෂ්‍ය අංශෙ දිසා ලේකම්. ඒ ගැන ජවිපෙන් සුපිරි alibi එකක් හැදුවා. ඝාතනය කළේ ලොකුගේගෙ මෙහෙයවීමෙන් මාවිත්තර සරත්ය කියලා මං පිළිඅරගෙන, විශ්වාස කරමින්, සියලු කමිටුවලදි කිව්වා.

විප්ලවීය දේශපාලනයෙදි ඔය වගේ තීරණ ගන්නට වෙනවාය කියමුකො. ඒත්, තමන්ගෙ පක්ෂෙටවත් ඒක පැහැදිලි කරන්නට බැරි නම්, ඒ තීරණ නොගෙන ඉඳීම තමයි හොඳම.

පස්සෙ කාලෙක අපි හිරු කණ්ඩායම විදියට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත්වීම් කරද්දි තමයි අපට දයා පතිරණ කොයි තරම් පොරක්ද කියන එක හරියට තේරුණේ.

ජවිපෙ පොදු පෙරමුණ එක්ක සන්ධානගත වෙලා හයිඩ් පාක් එකේ පළමු රැස්වීම කරපු දවසෙ (2003) මායි දැන් මාලිමාවෙ මෝදර පැත්ත නියෝජනය කරන නාගරික මන්ත්‍රී කෙනෙකු වන මුත්තයියා විජේන්ද්‍රනුයි පිටත පාරෙ හිරු පත්තරේ විකිණුවා. වීරවිල රැඳවුම් කඳවුරේ මං ඉංග්‍රීසි පන්ති කරද්දි මගෙන් ඉගෙනගත්ත තරුණයෙකුත් ඇවිත් මගෙත් එක්ක බොහොම ආදරෙන් කතා කළා.

ටික වෙලාවකින් පක්ෂෙන් මැරයො ටිකක් ආවා. තොපි ස්වයං නිර්ණ අයිතිය ගැන පෙනී හිටිනවා නේද, තොපිට මෙතන පත්තර විකුණන්න දෙන්නෙ නැහැ කියලා අපි දෙන්නව වට කළා. මං දැක්කා අර මගෙත් එක්ක කතා කරපු වීරවිල හිටපු තරුණයාත් වෛරයෙන් ඇස් දිලිසි දිලිසි ඉන්නවා. ඒ වෙලාවෙ අපට ගැහුවා නම්, ඔහුත් සමහර විට මට ගහන්නට තිබුණා.

අපි කිව්වෙ අපි ඉන්නෙ පාරෙනෙ කියලයි. ඒත් අපව පන්නලා දැම්මා. දයා පතිරණ මරලා අවුරුදු 14කට පස්සෙ ඒ. ඉන් පස්සෙ ජවිපෙ සටන් විරාමයට හා සාකච්ඡාමය සම්මුතියකට එරෙහිව නැවත ජාතිවාදී දේශපාලනය කරලා, 2004දි පාර්ලිමේන්තු මැතිවරණෙන් ආසන 39කුත් දිනාගෙන, 2005දී මහින්දවත් දිනවලා, සටන් විරාමය කඩාකප්පල් කරලා නැවත යුද්දෙකට රට තල්ලු කළා. ඒකට එල්ටීටීඊ එකත් කැමති වුණා.

හැබැයි, මහින්දගෙ යුද්දෙට ජවිපෙ උදව් කළේ නැහැ. යුද ජයග්‍රහණයෙන් පසු ජවිපෙ මහින්දව පරාජය කරන්නට සරත් ෆොන්සේකා අරගෙන ආවා.

මැරුණු දයා පතිරණ එදා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සිටි ස්ථාවරය ආසන්නයට ජවිපෙට එන්නට දශක හතරක් විතර ගියා.

Social Sharing
අවකාශය නවතම