
-අජිත් පැරකුම් ජයසිංහ-
මම විප්ලවවාදියෙක්. මං පෙනී ඉන්නෙ සමාජ සංවර්ධනය වෙනුවෙන්. මේ මොහොතට අදාළව ශ්‍රී ලංකාවේ ජාතික ධනේශ්වර ක්‍රමය තිරසර කිරීම වෙනුවෙන්. එතනදි තිරසර සංවර්ධනය කියන වචනය අදාළයි. රාජ්‍ය බලය එක්ක මං සම්බන්ධ ද නැද්ද කියන එකට වඩා වැදගත් රාජ්‍යය කරන්නෙ මොකක්ද කියන එක. මගේ අවබෝධය අනුව, මේ තත්වය විග්‍රහ කරගැනීමේ විභවය පැත්තෙන් ජවිපෙ ඉන්නෙ ඉතා පසුපසින්. ඔවුන්ගේ අතීත උරුමයේ ගැටලු නිසා ඔවුන්ට පහසුවෙන් අවශ්‍ය තත්වයට හැඩගැහෙන්නට බැහැ. ඒ මදිවට මේ ආපදාවත් ඇවිත්.
තත්වය ගැන සෙන්ටිමෙන්ටල් වෙලා දේශපාලනය කරන්න බැහැ. සමාජ සංවර්ධනයේ ධනේශ්වර මොහොතකට අදාළ රාජ්‍ය පාලනය කළ යුතුව තිබෙන්නේ ධනේශ්වර ප්‍රභූන්. ඒකට නිර්ධන පංතික හෝ පහළ මධ්‍යම පංතික කොටස් ආදේශ වෙන්නට යන එක මුග්ධකමක්. මේක ජවිපෙ අනුර ප්‍රමුඛ නායකත්වය තේරුම් අරගෙන හිටියා. ඒත්, ධනේශ්වර ප්‍රභූ පන්තියේ බල අරගලය ඔවුන්ට කළමනාකරණය කරගත නොහැකි වූ නිසායි, රනිල් අනුරට බලය ලැබෙන අන්දමින් කටයුතු කළේ. මං නම් හිතන්නෙ ඒක උගුලක්. ජනතාව හමුවේ අනුරලා වගකීමකින් තොරව කියපු සුරංගනා කතා නිසා ජනතාව ඔවුන්ව ඒ උගුල ඇතුළටම තල්ලු කළා. ලංකාවේ ජනතාව කියන්නෙත් සංකීර්ණ දේශපාලන ප්‍රපංචයක්.
අනුර රනිල්ට කරපු දේ මගින් සංකේතවත් කළේ සම්මුති විරහිතභාවයක අවශ්‍යතාව. ඒක තේරුම් ගන්නය කියල ඉල්ලා හිටියට පස්සෙ ආපහු සම්මුති හොයන්න යන එක ෆොන්සේකා පන්නයේ අදේශපාලනිකත්වයක්. මේක දිලිත්ටයි, චම්පිකටයිත් යම් දුරකට තියෙනවා. නාමල්ට නැහැ. සජිත් ඉන්නෙ සම්මුතිගත වෙලා.
මේ වෙලාවෙ ජවිපෙ එක්ක සම්මුතිගත වීමක් අවශ්‍ය නැහැ. ජවිපෙ ඉදිරියේ තියෙන්නෙ දැවැන්ත පරිවර්තනයක අභියෝගයක්. ඒ පරිවර්තනය මං නම් දකින්නෙ කළ නොහැකි දෙයක් විදියට. ඒක කරගත්තත් වැඩක් නැහැ, ජවිපෙ කියන ස්පිරිට් එක විනාශ වෙනවා. ජවිපෙටත් මෙතනදි කරන්න දෙයක් නැහැ. මග සිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී. ඉතිහාසය ඉදිරියට යන්නෙ මෙවැනි විප්ලවයන් එක්ක.
ආපදාව නිසා එක දෙයක් වෙනවා. ලංකාව රීසෙට් කරගැනීමට කල්ගන්න බැහැ. Reset Sri Lanka Now.
