
“අරුණ” පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා විමර්ශනයක්යක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පිලීබඳව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ…
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත්වන සූක්ෂම මර්ධනය නතර කරන්න.
අරුණ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
කැදවා තිබීම මාධ්‍යයට එරෙහි මර්ධනයක පියවරක් බව අපගේ අදහසයි.මෙම සිදුවීම එක් හුදකලා සිදුවීමක් නොවේ. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සදහා ප්‍රතිඥා දුන් වත්මන්
ජාතික ජනබලවේග රජය බලයට පත් වූ දින සිට එම පක්ෂයේ නායකයන්, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්
සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි
ගොනු කරමින් මාධ්‍යයේ වාර්තා සම්බන්ධයෙන් ආණ්ඩුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ
කර ගැනීමේ උත්සහයක නිරත වූ බව පෙනෙන්නට තිබුණි. මේ හරහා උත්සහ කරන ලද්දේ නිදහස්
වාර්තාකරණයට බාධා කිරීමක් බව අපගේ නිරීක්ෂණයයි. අරුණ පුවත්පතේ වාර්තා කරන ලද කරුණක්
සම්බන්ධයෙන් එහි ප්‍රධාන කතෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම එහි ඉදිරි පියවරක් බව පෙනී යයි.අප ආණ්ඩුවට අවධාරණය කරන්නේ සාපරාධි අපහාස නීතිය ලංකාවේ අහෝසි කරන ලද පසුබිමක
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රවෘත්ති කතෘ වරයකු එකී දෙපාර්තමේන්තුවට කැදවීම බරපතල
මාධ්‍ය මර්ධනයක් බවයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කෙරෙහි අපරාධ නීතිය ඇතුළු කරමින්
පසුගිය රජය ඉදිරිපත් කල මාර්ගගත ක්‍රම ආරක්ශන පනත වහා අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින්
බලයට පැමිණි වත්මන් ජාතික ජනබලවේග රජය සිදු කරන මෙම ක්‍රියාව පිළිකුල් සහගතය.විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම කැදවීම සිදු කිරීමට පෙර පාර්ලිමේන්තුවේදී
ජනමාධ්‍ය ඇමතිවරයාද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද වන නලින්ද ජයතිස්ස ඇමතිවරයා
මෙම ප්රස්තුත ප්‍රවෘත්තිය පෙන්වමින් තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රකාශයක් සිදු කල අතර මෙම කැදවීම
ඒ සමග සිදු වීම මෙහි ඇති දේශපාලන ලබැදියාවන් පෙන්නුම් කරයි. ජනමාධ්‍ය ඇමතිවරයකු මාධ්‍යය වෙනුවෙන්
පෙනී සිටිනු වෙනුවට මෙසේ භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහසට අනියමින් තර්ජනය කිරීම
සිදු නොකළ යුත්තක් බව අප පෙන්වා දීමට කැමැත්තෙමි.අරුණ පුවත්පතේ පළවූ වාර්තාව අසත්‍යනම් සිදු කළ යුතු වන්නේ ඒ සම්බන්ධයෙන් වහා පැහැදිලි කිරීමක්
සිදු කිරීම හා අරුණ පුවත්පත ඇතුළු සියළු මාධ්‍ය වෙත රජය විසින් එය යොමු කිරීමයි. මේ වන විටත්
ඒ සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි කිරීම් සිදු කර ඇති බව පෙනී යයි. මාධ්‍ය සමග ගනුදෙනු කිරීමේ
ශිෂ්ඨ ප්රජාතන්ත්රවාදී ක්‍රමය එය බව අප රජයට මතක් කර දීමට කැමැත්තෙමු. තවද මෙම ප්‍රවෘත්තිය
සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමාද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කර මෙම පුවතේ සත්‍යතාවයක්
ඇති බව කරුණු සහිතව එතුමාගේ ස්ථාවරය ප්‍රකාශ කල බවද සිහිපත් කරමු.මාධ්‍ය වාර්තාවකින් බරපතළ අගතියක් ආණ්ඩුවට සිදු වී ඇත්නම් හෝ ඇමතිවරයකුගේ හෝ ආණ්ඩුවේ
ආයතනයක කීර්තිනාමයට හානියක් සිදු වී ඇත්නම් සිවිල් නීතිය යටතේ ආණ්ඩුවට ප්‍රතිකර්ම ගත හැකි
බවද ඒ සදහා ඕනෑ තරම් උදාහරණ ඇති බවට ආණ්ඩුවේ බලධාරීන්ට අප පෙන්වා දෙනු කැමැත්තෙමු.
ඒ අනුව අප ආණ්ඩුවට අවධාරණය කරන්නේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සම්බන්ධයෙන්ද
ජනමාධ්‍යයේ නිදහස සම්බන්ධයෙන්ද ජාතික ජන බලවේගය ලබා දුන් ප්‍රතිඥා දෙස නැවත හැරී බලන
ලෙසත් ජනමාධ්‍යවේදීන් ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැදවීමේ
මර්දනකාරී පියවරයන් හකුලා ගන්නා ලෙසත්, මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට කැප වන ලෙසත්ය.

