
ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී. විද්‍යාව, මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ නව කතිකාවත් ගොඩනැගෙමින් පවතින යුගයක, ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික නායකයින් තවමත් උත්සාහ කරන්නේ සමාජය ගල් යුගයේ මතවාද තුළ සිර කර තැබීමටද යන්න බරපතල ගැටලුවකි.
මෑතකදී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට යෝජිත ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය (විශේෂයෙන් 6 වසරේ සිට සමලිංගිකත්වය උගන්වන බවට කළ ප්‍රකාශය) සමාජය තුළ අනියත බියක් සහ විකෘති මතවාදයක් පැතිරවීමට හේතු වී තිබේ.
වතිකානුවේ නව මග සහ ලංකාවේ පැරණි මග
වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ LGBTIQ ප්‍රජාව දෙස වඩාත් මානුෂීය සහ විවෘත මනසකින් බලන යුගයක, උන්වහන්සේ පවා “ඔවුන් ද දෙවියන්ගේ දරුවන්” යැයි පවසමින් ඔවුන්ව ප්‍රතික්ෂේප නොකරන පසුබිමක, ලංකාවේ කතෝලික සභාවේ නායකත්වය ඊට හාත්පසින්ම වෙනස්, දැඩි මතධාරී ආකල්පයක් දැරීම විමතියට කරුණකි. වතිකානුව යම් ප්රගතිශීලී පියවරක් තබද්දී, මෙරට නායකත්වය එය ආපස්සට ඇදීමක් පෙන්නුම් කරයි.
ලිංගික අධ්‍යාපනය යනු සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම නොවේ
ලිංගික අධ්‍යාපනය යනු දරුවාට තමන්ගේ ශරීරය, එහි විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය, ලිංගික අතවරවලින් ආරක්ෂා වීම සහ සමාජයේ පවතින විවිධත්වයට ගරු කිරීම කියා දීමයි. එය කිසිසේත්ම “සමලිංගිකත්වය බෝ කිරීමක්” නොවේ. මෙවැනි විකෘති අර්ථකථන මගින් සිදුවන්නේ දරුවන්ට ලැබිය යුතු අත්‍යවශ්‍ය දැනුම අහිමි කිරීම සහ ඔවුන්ව අනාරක්ෂිත කිරීමයි.
සැබෑ ගැටලු වසන් කර අහිංසකයින් බිල්ලට දීම
ලොව පුරා මෙන්ම ලංකාවේද විවිධ ආගමික ආයතන තුළ සිදුවන ළමා අපචාර සහ ලිංගික අපරාධ පිළිබඳව ඕනෑ තරම් සාක්ෂි ඇත. බොහොමයක් ඒවා යට ගැසෙන්නේ ආගමික බලය හමුවේය. ආගමික නායකයින් ප්‍රමුඛත්වය දිය යුත්තේ තම ආයතන තුළ සිටින මෙවැනි සැබෑ අපරාධකරුවන් හෙළිදරව් කර දරුවන් ආරක්ෂා කිරීමට මිස, සමාජයේ නිහඬව ජීවත් වන LGBTIQ ප්‍රජාව ඉලක්ක කර වෛරී ප්‍රකාශ නිකුත් කිරීමට නොවේ.
LGBTIQ ප්‍රජාව යනු මේ රටේම පුරවැසියන්ය. ඔවුන්ටද අන් අයට මෙන්ම සමානව ජීවත් වීමේ අයිතියක් ඇත. ආගමික මූලධර්මවාදී අදහස් මත පදනම්ව ඔවුන්ව කොන් කිරීම හෝ අපරාධකරුවන් ලෙස හුවා දැක්වීම ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපේ.
අප දරුවන් ආරක්ෂා කළ යුත්තේ දැනුම ලබා දීමෙනි; මිත්‍යාව සහ වෛරය වැපිරීමෙන් නොවේ.
