විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය!

foreign reserves, current account balance of sri lanka

ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්, එයින් ඩොලර් මිලියන 9.5ක් නැවත විකුණා තිබෙනවා. මිල දී ගත් විදේශ විණිමය වලින්ම සුළු කොටසක් වුවත්, මහ බැංකුව විසින් මෙසේ විදේශ විණිමය විකිණීමක් කර තිබෙන්නේ මාස ගණනාවකට පසුවයි.

වසරේ පළමු මාස අට තුළම එක දිගට ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වුවද, සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 182.6ක ජංගම ගිණුම් හිඟයක් වාර්තා වුනා. ඒ හේතුවෙන් වසරේ සමුච්ඡිත ජංගම ගිණුම් අතිරික්තය ඩොලර් මිලියන 2,039.5 සිට ඩොලර් මිලියන 1,856.9 දක්වා පහත වැටී තිබෙනවා. ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත පහත වැටීම සහ වෙළඳපොළෙන් ශුද්ධ ලෙස මිල දී ගෙන ඇති විදේශ විණිමය ප්‍රමාණය පෙර මාස වලට වඩා අඩු වීම තුළින් පෙන්නුම් කරන්නේ ඔක්තෝබර් මාසය තුළද ජංගම ගිණුම් හිඟයක් වාර්තා වී තිබිය හැකි බවයි.

සැප්තැම්බර් මාසය තුළ ජංගම ගිණුම තුලනය වූයේ පහත ආකාරයෙනුයි.

විදේශ විණිමය ලැබීම්:

  • භාණ්ඩ අපනයන – ඩොලර් මිලියන 1,138.5
  • සේවා ආදායම් – ඩොලර් මිලියන 503.1
  • ප්‍රාථමික ආදායම් – ඩොලර් මිලියන 50.7
  • ද්වීතියික ආදායම් – ඩොලර් මිලියන 695.7
  • එකතුව – ඩොලර් මිලියන 2,398.0

විදේශ විණිමය ගෙවීම්:

  • භාණ්ඩ ආනයන – ඩොලර් මිලියන 2,048.6
  • සේවා වියදම් – ඩොලර් මිලියන 322.4
  • ප්‍රාථමික වියදම් – ඩොලර් මිලියන 192.8
  • ද්වීතියික වියදම් – ඩොලර් මිලියන 7.7
  • එකතුව – ඩොලර් මිලියන 2,571.5

ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන (-183.6)

මේ හැරවුමට හේතුව සැප්තැම්බර් මාසය තුළ වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 286.0ක මුදලක් වැය වීමයි. මේ අනුව, වසරේ පළමු මාස නවයක කාලය ඇතුළත වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,204ක විදේශ විණිමය ප්‍රමාණයක් වැය වී තිබෙනවා. මෙය මුලින් ඇස්තමේන්තු කර තිබුණු වාහන ආනයන වියදමට වඩා වැඩි අගයක්.

රටේ විදේශ අංශය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර ඇතත්, රාජ්‍යමූල්‍ය අංශයෙහි ඇස්තමේන්තු ඉක්මවා යාමට උපකාරී වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන ප්‍රමාණය ඇස්තමේන්තු ඉක්මවා යාමයි. කෙසේ වුවද, මේ වන විට වාහන ආනයන ඉල්ලුම සංතෘප්ත වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, විදේශ අංශයේ අවාසිදායක තත්ත්වය මෙන්ම රාජ්‍යමූල්‍ය අංශයෙහි සුවිශේෂී වාසිදායක තත්ත්වයද ඉදිරි මාස වලදී ක්‍රමයෙන් වෙනස් විය හැකියි.

– ඉකොනොමැට්ටා

Social Sharing
අවකාශය නවතම විශේෂාංග