මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා 2025-2026 මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අනුවය.

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු ජාතික ගැටළුවක් බවට පරිවර්තනය වෙමින් තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2020 – 2024 කාලසීමාව තුළ මෙරට රිය අනතුරු 118,697ක් වාර්තා වී ඇති අතර එම අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 12,322ක් මිය ගොස් ඇති බවයි. 2024 වර්ෂයේ දී මාර්ග අනතුරු 24,589 සිදුව ඇති අතර ඉන් 2368 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාර්ග අනතුරු අවම කිරීම සදහා පසුගිය රජයන් විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරණු ලැබුවත්, පහත සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ ඉන් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන නොමැති බවයි.

ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව ගැඹුරු හා නිරන්තර ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සාමාන්‍ය වාර්ෂික මරණ අනුපාතය පුද්ගලයින් 10,000කට 11.2ක් ලෙසයි.
මහා මාර්ග, අතුරු මාර්ග වල පමනක් නොව දුම්රිය මාර්ගවල පවා අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොකිරීම, අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය, අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම හා වහන නිසියාකාර ලෙස නඩත්තු නොකිරීම හා මගීන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියාවන් මෙසේ රිය අනතුරු වැඩවීමට හේතුවී තිබේ. දුම්රිය හරස් මාර්ගවල පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් අනතුරු 400ක් පමණ වාර්ශිකව සිදුවන බවත් වාර්තා වී තිබේ.
මේ සියළු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
