
– BBC –
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා ම එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරින් පමණක් බඳවාගෙන ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරිනියන් බඳවාගෙන තිබේ.
ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවාගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව, දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරුවලට කාන්තා නිලධාරින් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බවට ගෙන ඇති තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටින කනිෂ්ඨ නීතිඥවරිය වන නීතිඥ දිනූෂා ලක්මාලි තිරාණගම පැවසුවේ මෙලෙස දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම පුද්ගල සමාජභාවය සලකා වෙනස්කොට සැලකීමට එරෙහිව ලබා ගත් විශාල ජයග්‍රහණයක් බව ය.
“මේ පෙත්සමේ කරුණු දැක්වීමේදී අපි ඒ ගැන ගොඩක් තොරතුරු හෙවුවා. එතකොට අපිට තොරතුරු හම්බවුණා ඉන්දියාවේ තියෙන කාන්තාවන් විතරක් සේවය කරන ස්ටේෂන් එකක් ගැන විස්තර. ඒ වගේ ම ඉන්දියාවේ නඩු තීන්දු තියෙනවා මේ වගේ රැකියාවලදී ස්ත්‍රී පුරුෂ භාවය සලකලා වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් ලබා දුන්න ඒවා,” නීතිඥ දිනූශා පවසයි.
“අවසන් වරට නඩුව කැඳවුණු දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුන්නා කාන්තාවන් බඳවා ගැනීමට අදාළ සංශෝධන කිරීමට කැබිනට් අනුමැතියට දාලා තියෙනවා කියලා. මීළඟ නඩු වාරයේදී බොහෝ දුරට මේ සම්බන්ධ අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා කියලා දැනුම් දුන්නොත් අපි තවදුරටත් නඩුව පවත්වාගෙන යන්නේ නෑ,” ඇය පැවසුවා ය.
“රැකියාවේදී වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් මීට කලින් ශ්‍රී ලංකාවේ ලබා දුන්න නඩු තීන්දු නෑ. මේක ඒ සම්බන්ධයෙන් ගොනු වෙච්ච පළමු පෙත්සම වෙන්න පුළුවන්. ඒ වගේ ම මගේ නීතිඥ ජීවිතයේ මේක මතක හිටින නඩුවක්.”
“අපි දැක්කා මේ නඩුව ගැන වාර්තා කරලා තිබුණ ෆේස්බුක් පොස්ට්වලට ගොඩක් අය දාලා තිබුණේ හරි ම පසුගාමී අදහස්. ස්ටේෂන් එකේ වළල්ල දෙද්දී විසිවෙලා යයි වගේ කතා කමෙන්ට්වල දාලා තියෙනවා. ඒ වගේ පසුබිමක මේ වගේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්,” නීතිඥවරිය පවසයි.
ශ්‍රී ලංකාවේ පවතින බොහෝ පනත්වල ද එම පනතට අදාළ පුද්ගලයන් “ඔහු” ලෙස හඳුන්වා ඇති බවත් එවැනි දේවල් ද වෙනස් විය යුතු බවත් ඇය පෙන්වා දුන්නා ය.
“ගොඩක් පනත් වල “ඔහුට හෝ ඇයට” කියලා අපි පාවිච්චි කරන එක වෙනුවෙට “ඔහු” කියලා යොදලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති පවා තියෙනවා ඒ විදිහට තියෙන.”
එමෙන් ම දුම්රිය ස්ථානාධිපති වැනි පුරුෂ ලිංග නාමයකින් හඳුන්වන රැකියා නාමයන් ද වෙනස් විය යුතු බව ඇය පෙන්වා දුන්නා ය.
“ඩොක්ටර් කෙනෙක් ලෝයර් කෙනෙක් කිව්වම ඒකෙන් කාන්තාවක් ද පුරුෂයෙක් ද කියලා හැඟවෙන්නේ නෑ. ඒ විදිහට රැකියා නාමයන් වෙනස් වෙන එකත් විය යුතු දෙයක්.”
මෙම වසරේ ජූනි මස 13 වන දා දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණි.
