මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සෘජු සම්බන්ධතා ඇති පුද්ගලයින් ක්‍රමයෙන් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය බරපතල අනතුරු ඇඟවීමක් කළේය.
“සුදු ඇඳුමින් සැරසී කළු ක්‍රියා කරන” මෙම පුද්ගලයින්ගේ මූලික ඉලක්කය මහජන සේවය නොවන බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. ඒ වෙනුවට, ඔවුන්ගේ නීති විරෝධී ජාල තවදුරටත් පුළුල් කිරීම සහ නීතියෙන් ගැලවීම සඳහා දේශපාලන බලය පලිහක් ලෙස භාවිතා කිරීම ඔවුන්ගේ අරමුණයි.
එබැවින්, එවැනි අපරාධ පසුබිමක් ඇති පුද්ගලයින්ට පක්ෂ සාමාජිකත්වය හෝ මැතිවරණ අපේක්ෂකත්වය ලබා නොදෙන බවට සහතික වීම රටේ සියලුම දේශපාලන පක්ෂවල ප්‍රධාන වගකීමක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අවධාරණය කළේය.
මැතිවරණවලට තරග කිරීමට අපේක්‍ෂකයන් තෝරා ගනිද්දී ඔවුන් පිළිබඳව පොලිස් වාර්තා ලබාගෙන ඔවුන් අපරාධවලට සම්බන්ධ නැති පුද්ගලයන්බවට තහවුරුකර ගැනීමෙන් පසුව නාමයෝජනා ලබා දීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා සියළුම පක්ෂ නායකයින්ට ඉල්ලීමක් කරයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සිද්ධිය උදාහරණයකට ගනිමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේය. විවිධ අපරාධ හා නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට සම්බන්ධවී සිටින බවට වාර්තා වී ඇති බවත්, දැනටමත් ඉන් කිහිප දෙනෙකු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස පත්වී කටයුතු කරමින් සිටින බවද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ද පොලිස්පතිවරයා ප්‍රකාශ කළාය.
එම නිසා දේශපාලනය සදහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී මේ පිළිබදව අවධානය යොමු කරන ලෙසත්, නීති විරෝධී ක්‍රියා හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පක්‍ෂවලට සම්බන්ධ නොකරගන්නා ලෙසත්, එසේ කිරීම නිසා පක්‍ෂයේ කීර්ති නාමය ද විනාශ වන බව පොලිස්පතිවරයා කියා සිටියේය.
