2025 ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් තෑග්ග කාටද?

නොබෙල් ත්‍යාගය

2025 අවුරුද්දේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් ජෝ මොකෙර්, ෆිලිප් ඇගියන් සහ පීටර් හවිට් කියන ආර්ථික විද්‍යාඥයන් තුන්දෙනා නොබෙල් ත්‍යාගය ලබා ගත්තා.

ඔවුන්ට මේ ජයග්‍රහණය ලැබෙන්න හේතු වුණේ ‘නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය’ කියන සංකල්පය ඉදිරිපත් කිරීම වෙනුවෙන්.

මෙවර නොබෙල් ත්‍යාගය ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනුවාවල නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ සහ ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යය ජෝ මොකෙර්ට ලබා දුන්නේ ‘තාක්ෂණික ප්‍රගතිය තුළින් තිරසාර වර්ධනයක් සඳහා පූර්ව අවශ්‍යතා හඳුනා ගැනීම’ වෙනුවෙන්.

ත්‍යාගයේ ඉතිරි කොටසේ සම ජයග්‍රාහකයින් වුණේ, ‘නිර්මාණාත්මක විනාශය තුළින් තිරසාර වර්ධනයක් පිළිබඳ න්‍යාය’ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ප්‍රංශ විශ්වවිද්‍යාලයට සහ එක්සත් රාජධානියේ ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා පාසලට සම්බන්ධ මහාචාර්‍යවරයෙකු වන ෆිලිප් ඇගියන් සහ ඇමරිකාවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යවරයෙකු වන පීටර් හවිට් මහතාට.

ඔවුන්ගේ සොයා ගැනීම්වල මූලික කරුණු වෙන්නේ අලුත් තාක්ෂණික සොයා ගැනීම් නිසා පරණ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් බැහැර වෙන බවත් නව තාක්ෂණික ක්‍රම ඔස්සේ ජීවන මට්ටම් සහ සෞඛ්‍ය යන කාරණා වඩා හොඳ මට්ටමකට එන්නේ කොහොමද කියන කාරණයත්.

1901දී ආරම්භ වුණු නොබෙල් ත්‍යාගය ලබා දීම වෙනුවෙන් මුලදී සලකා බැලුවේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය කියන විෂයයන් විතරයි.

මුල්ම වතාවට ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලබා දීම පටන් ගත්තේ 1969 අවුරුද්දේ. ඒ ‘ආර්ථික ක්‍රියාවලීන් විශ්ලේෂණය සඳහා ගතික ආකෘති සංවර්ධනය කර යොදා ගැනීම’ වෙනුවෙන් නෙදර්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥ ජෑන් ටින්බර්ජන් සහ නෝර්වීජියානු ආර්ථික විද්‍යාඥ රැග්නර් ෆ්‍රිෂ් කියන ආර්ථික විද්‍යාඥයන් දෙන්නාට.

නොබෙල් ත්‍යාගය ගැන කතා කරද්දි, නව දැනුම හා කුසලතා, නවෝත්පාදන නිර්මාණය කරන්න ආර්ථිකයේ නිදහස, තරඟකාරීත්වයට ඉඩ සැලසීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීම කියන දේවල් අමතක කරන්න බෑ.

2025 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගලාභීන් නිසා අපිට ඉගෙන ගන්න තියෙන සරලම පාඩම මේකයි. සැබෑ ආර්ථික වර්ධනයක්, ප්‍රගතියක් ලබන්න නම් නීති රීතිවලින් සීමා මායිම් පනවලා හරි යන්නේ නෑ. ඒ වෙනුවට නවෝත්පාදනයට, නව තාක්ෂණික හුවමාරුවට ඉඩ දෙන නිදහස් තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ තවත් කල් නොදා කරන්න ඕන.

දිල්මිණී අබේරත්න
ඇඩ්වොකාටා / AdvocataPlus

Social Sharing
අවකාශය නවතම